කොළඹ සිට කිලෝමීටර් 46ක දුරින් කොස්ගම පිහිටා ඇත. එදා කොස්ගම ජනප්‍රිය වූයේ සිබිල් වෙත්තසිංහ නැන්දාගේ කුඩ හොරා කථාවේ කිරිමාමා චරිතය නිසාය. පසු කලෙක ආසියාවේ විශාලතම තුනී ලෑලි සංස්ථාව කොස්ගම සාලාවේදී පිහිටුවිය. සිංහරාජය වනයෙන් 1970 සිට 1975 දක්වා කපන ලද ගස් ඉරීම සඳහා ගෙන ආවේද සාලාවේ එම කම්හලටය. පරිසරවේදීන්ගේ දැවැන්ත විරෝධයෙන් සිංහරාජ ගස් කැපීම නතරවු පසු සාලාව කම්හල රජයේ විවිධ කටයුතු සඳහාද පරිහරණයට ගැණිනි. එජාප ආණ්ඩුව 1977 පත්වීමෙන් පසු වේයන්ගොඩ, පූගොඩ සහ වැල්ලවත්ත පෙහෙකම්හල් මෙන් තුනී ලෑලි සංස්ථාවද වසා දැමීමට පියවර ගනු ලැබීය. ජවිපෙ 2වැනි කැරළි සමයේදී තුනී ලෑලි සංස්ථාවේ කොටසක් වධකඳවුරක් ලෙසද ප්‍රචලිත විය. ඊයේ පෙරේදා ආන්දෝලනකට ලක්වූ අවි ගබඩාව ඇතුළත් හමුදා කඳවුර ස්ථාපිත වූයේද එහිය.
ශ්‍රී ලංකාව යුධ හමුදාව සතුවූ විශාලතම ආයුධ ගබඩාව සාලාවේ පිහිටා තිබූ අතර එය ජුනි 5වැනිදා පුුපුරා ගියේය. වසර 30ක් දෙමළ බෙදුම්වාදී යුද්ධය පැවති අවස්ථාවේදී සාලාවට ප්‍රහාරයක් එල්ල කිරීමට කොටි සංවිධානයට පවා නොහැකිවිය. ඉකුත්දා සිදුවූ හානියෙන් අළුවී ගියේ රටේ ආරක්ෂාවට තිබූ අවි ආයුධය. එපමණක් නොව සාලාව, බොරළුගොඩ, රණවිරුගම, මරුතගම, ආනන්දගම නිවෙස් පමණක් නොව මිනිසුන්ගේ ජනජීවිතය මුළුමනින්ම වාගේ විනාශ විය. විනාශයෙන් පසු අදාළ බලධාරින් විවිධ චරිත රඟ දක්වති. ජනතාව සියල්ල හොදින් නරඹති. නිවැරදි ලෙස විනිශ්චයකටද එනු ඇත. කෙසේ වෙතත් ‘ෆයර් ඩිරිල්’ එක අපූරුය.
පසුදා ප්‍රංශ පුවත් සේවය කියාසිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ආර්ථිකය වර්ධනය කරගැනීමට ‘යහපාලන’ ආණ්ඩුවට දෙන ඩොලර් බිලියන 1.5ක විස්තීර්ණ ණය පහසුකම් යටතේ ප්‍රථම කොටසවන ඇමරිකන් ඩොලර් දශලක්ෂ 168ක් අනුමත කල බවකි. ඉතිරි මුදල් ප්‍රමාණය වසර 3ක කාලයක් පුරා කොටස් 6කින් මුදා හැරණුයේ ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්යසාධනය වරින්වර විමර්ශනය කිරීමෙනි. එනම් එකඟවූ පරිදි වෙළෙඳපොල විශ්වාසය ශක්තිමත් කිරීම, භූගෝලීය වට පිටාව තුළ බාහිර අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම වැනි හේතු ගණනාවක් මතය.
කොස්ගම හමුදා අවි ගබඩාවේ ටොන් 25,000ක උණ්ඩ තිබූ බව කියති. මෙවන් වැදගත් ස්ථානයක් නිසිලෙස ආරක්ෂා කරගැනීමට නොහැකිවීමේ වගකීම සහ වරද ඉහළට හෝ පහළට පැවරීමෙන් දැන් පලක් නැත. ජෝන් බාස්ගෙන් ඇසුවානම් යුද්ධය අහවර නිසා ආයුධ අනවශ්‍ය බැවින් එය ගිනි තිබූ බව කියන්නට ඉඩ තිබිණි. දුක යනු එවැනි මාත්‍රාවක් නොගෙනම දෙමළ ජාතිවාදයට කත්අදින එන්.ජී.ඕ වලින් යැපෙන සිංහලයින්ද එයට හූමිටි තැබීමය. යහපාලනය යටතේ ඉකුත් වසර එකහමාර තුළ මෙවැනි දුර්ලභ සහ විශ්මිත දේවල් රැසක් දැකගත් අතර බලාපොරොත්තුවූ ‘යහපාලන’ අටපට්ටම දැන් කුඩුපට්ටම් වෙමින් පවතී. අවුරුදු එකහමාරක ආයු කාලය මෙසේනම් ඉදිරි වසර තුනහමාර ගැන කවර කථාද? කන කොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොටලු.
යුධ ශක්තිය අතින් අතිශයින් ප්‍රබලව ලොව පිළිගත් දෙමළ බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2009 මැයි 18වැනිදා සමත්වීමත් සමඟම ශ්‍රි ලංකාව ගැන ලෝකයේ විශේෂ අවධානයක් යොමුවිය. ඉන්දියාව අන්දමන්ද වූවාට සැක නැත. ජගත් ත්‍රස්තවාදයට සෘජුව සහ වක්‍රව සහාය දක්වන ඇමරිකාව සහ යුරෝපයේ රටවල් තුෂ්නිම්භූත වන්නටද ඇත. රාජපක්ෂ පාලනයට එරෙහිව ‘රෙජීම් චේන්ජ්’ මෙහෙයුම දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්ද, රාජ්‍ය නොවන සංවිධානවල සහායෙන්ද දියත් වනුයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ජයග්‍රහණයෙන් පසු එහි දෙවනි අදියර රාජ්‍ය බලය හෙවත් ත්‍රිවිධ හමුදා බලය දුර්වල කිරීම සහ හෑල්ලු කිරිමය. නැගෙනහිර මහ ඇමති නාවික ප්‍රධානියාට ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපති ඉදිරියේ ප්‍රසිද්ධියේ බැණ වදින්නේද, හමුදාවේ ප්‍රධාන අවි ගබඩාවද හදිසියේ පුපුරායන්නේද මෙවැනි සන්දර්භයන් තුළය. ආණ්ඩුවට සිදුවී ඇත්තේ එක අතකින් ඉන්දීය සහ බටහිර හාම්පුතුන්ට දුන් පොරොන්දු සපථ කිරීමය. අනෙක් පසින් පළාත් පාලන ඇතුළු ඉදිරි මැතිවරණවලදී ජනතාවට මුහුණදීමට සිදුවීමය. ගෙදර ගියොත් අඹු නසීය, මඟ සිටියොත් තෝ නසීය කියන්නේ මේවාටය.
බ්‍රිතාන්‍යයේ එම්. 50 හිටපු නියෝජිතයෙකුවූ ඇනී මැෂොං විසින් ආර්.ටී නම් රුසියානු රූපවාහිනියක් සමඟ ඉකුත්දා කල සාකච්ඡාකදී කියා සිටියේ නැටෝ බෝම්බ ප්‍රහාර මගින් සැලකිය යුතු ඉහළ ජීවන තත්ත්වයක් ලබා තිබූ ලිබියාව අද ගල්යුගයක් දක්වා ආපසු තල්ලුකර ඇති බවය. නැටෝ හමුදාව සහ නැටෝ කැරලිකරුවන් ලිබියාව ‘මුදාගෙන’ අවසන් බව කීවද ලිබියාව අද ද්‍රරිද්‍රතාවයෙන් සහ සංවර්ධනය ඇණ හිටීමෙන් ගව් ගණනක් පසුපසට ගොස් ඇති බවය. ‘රෙජීම් චේන්ජ්’ නැමති ඉන්දීය සහ බටහිර රටවල ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවේද සිදුවුයේ සහ සිදුවන්නේද එම කියවීමය.
සති කිහිපයකට පෙර ඇතිවූ ගංවතුරෙන් ලක්ෂ 4ක් පමණ මිනිසුන් අවතැන්ය. සාලාව හමුදා අවි ගබඩාව පිපිරීමෙන් කොස්ගම සහ ඒඅවට මිනිසුන් දහස් ගණනක් අනාථය. අවතැන් සහ අනාථවූවෝ මහමඟ දැන් උද්ඝෝෂණය කරති. ගෙවල් දහස් ගණනක් ආපදාවන්ට ලක්වී ඇත. නිවාස සිය ගණනක් මුළුමනින් විනාශ වී ඇත. ලිං ජලය අපවිත්‍රවි බොන්න පිරිසිදු වතුර නැත. කැලිකසල අර්බුදය එමටය. සරළව කිවහොත් මිනිසුන්ට හතේ හත වැදී ඇත. මේවාට තිබෙන මුදල් යොදා විසදුම් දෙනවා වෙනුවට ආණ්ඩුවේ ඇමතිවරුන් 30කට ඉගිලෙන්නට කෝටි 118ක් වැයකරමින් වාහන පියාපත් ලබාදීමට තීරණය කර ඇත. ආණ්ඩුවේම වරදින් සිදුවූ කොස්ගම පිපිරිමෙන් විනාශ වූ නිවෙස් හිමියාට මසකට රුපියල් 50,000 බැගින් මාස 3ක් ලබාදීමට ආණ්ඩුව ඊයේ තීරණය කළේය. මෙය පැලැස්තර විසදුමකි. සිදුවිය යුත්තේ එම මාස 3 ඇතුළත ආණ්ඩුවේ වියදමින් හමුදාවේ මැදිහත්වීමෙන් එම නිවෙස් යළි තිබූ තත්ත්වයට සකස්කර දීමය. තුවාලකරුවන්ට සරිලන පරිදි වන්දි ක්‍රමයක් ඇතිකිරීමය. ගමරාලගේ වංගෙඩිය වාගේ විසදුම් වලින් ඵලක් නැත.
අසරණ පිළිකා රෝගීන්ගේ ජීවිත දහස් ගණනක් බේරාගැනීමට මහරගම පිළිකා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයක් ගන්නට රටේ මහජනතාව මාස කිහිපයක් තිස්සේ පුලන්නෝ සේ යමින් කෝටි 20ක් එකතු කිරීමට දසතේ හඬා වැලපෙති. තවමත් එකතු වි ඇත්තේ රුපියල් කෝටි 16කට ආසන්න මුදලකි. මිනිසුන් මනුසත් බවෙන් පින් අතේ මෙවැනි ක්‍රියාවන් කලද ඇත්තටම මේවා ආණ්ඩුවෙන් කල යුතු වැඩය. මිනිසුන් පෙට් ස්කැන් යන්ත්‍රයක් ගැනීමට මෙසේ ආධාර එකතු කරන්නේ ආණ්ඩුවට මේවා ලබාදීමට සල්ලි නැතැයි කියන නිසාය. ඒත් තියෙන වාහන සැප මදිවී අති සුඛෝපභෝගී වාහන ඇමතිවරුන් 30 දෙනෙකුට ගන්නට රුපියල් කෝටි 118ක් වෙන්කරන ආණ්ඩුවකි මේ. මෙවැනි ඇමතිවරුන් පිරිසක් සිටීම ගැන රටක් ලෙස සැවොම ලැජ්ජාවිය යුතුය.
පාර්ලිමේන්තුවට මන්ත්‍රී කෙනෙක් ලෙස පත්වූ පසු කෝටි 6ක ආසන්න වටිනාකමක් ඇති තීරු බදු රහිත ඩොලර් 62,500ක සැප වාහන බලපත්‍රයක් ලැබේ. ඒ වෙනුවෙන් ගෙවිය යුතු රේගු ගාස්තුව වන්නේද රුපියල් 1,050කි. ඉන්පසු ඇමතිවරයෙකු වූයේ නම් ඇමතිවරයා සහ ඇමතිවරයා වෙනුවෙන් අමාත්‍යාංශයට අයත් සුඛෝපභෝගී වාහන 4ක්ද හිමිවේ. අහිංසක මිනිසුන්ගේ බත්පතටද බදු ගසා සොයාගනු ලැබූ මුදලින් ‘යහපාලන’ ආණ්ඩුවේ මැති ඇමතිවරු 30 දෙනෙකු රුපියල් කෝටි 118ක් සැප වාහන ගැනීමට වෙන්කරවා ගැනීම මහපොලව නුහුළන ක්‍රියාවකි. එම 30 දෙනා අතරින් 10 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයේය. තිදෙනෙකු එජාපය සමඟ හවුලේ තරඟකල සුළු පක්ෂවල නායකයින්ය. ඉවසන්නට බැරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාර්ලි පාරේ නෛතික පිල නියෝජනය කරන ඇමතිවරුන් වී සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 17 දෙනෙකුද මෙසේ සැප වාහන ගැනීමට එක්වී ඇති බැවිනි. ලිදෙන් වතුර බී මුහුදට ආවඩන මෙවැනි ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ට මීලඟ මැතිවරණයේදී ඡන්දදායකයින් විසින් මඩු වලිගයෙන් තැලීම කිසිවෙකුට වැලකිය නොහේ.
අන්ධයෝත් අලියාගේ හැඩ කිව්වා වගේ සැප වාහන ගැනීමට පොලීමේ සිටින ලැයිස්තුවේ එජාප හවුල් ආණ්ඩුවේ ඇමතිවරුන්වූ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 17දෙනා අතර ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ,විජිතමුණි සොයිසා, රංජිත් සියඹලාපිටිය, සුමේධා ජයසේන, ටී.බී. ඒකනායක, ප්‍රියංකර ජයරත්න, ලසන්ත අලගියවන්න, දුෂ්මන්ත මිත්‍රපාල, තාරනාත් බස්නායක ඇතුළු කිහිප දෙනෙක්ම වෙති. එම ලැයිස්තුවේ එජාප ඇමතිවරයෙකුවූ නියෝජ්‍ය සංස්කෘතික ඇමති පාලිත තෙවරප්පෙරුම ලිඛිතව ඊයේ ප්‍රකාශයට පත්කළේ තමාට ලබාදීමට තීරණය කල ඩිස්කවරි 4 නිල රථයට වෙන්කල රුපියල් ලක්ෂ 280ක මුළු මුදලම කලාකරුවන්ගේ අභිවෘද්ධිය සඳහා වන වැඩසටහනකට යොදවන ලෙසය. අවම වශයෙන් පාලිත තෙවරප්පෙරුමගේ කශේරුකාවවත් එජාප හවුල් ආණ්ඩුවට එක්වී වරදාන භුක්ති විදින ශ්‍රිලනිප ඇමතිවරුන්ට නොතිබීම කණගාටුවකි. නැව ගිලුනත් බැන් චූන් දමන මෙවැනි ඇමතිවරුන් පිරිසක් ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත.
ඇතැම් දේශපාලඥයන්ගේ ලැජ්ජා නැතිකම දැන් ප්‍රදර්ශය වෙමින් පවතී. ඔවුන්ට ජීවත්වීමට හෘද සාක්ෂියක් අවශ්‍ය නොවේ. බොරු මායාවක ජීවත් වන ඔවුහු එය හරියැයි පෙන්වීමට කෙස් පැලෙන තර්ක ගොනුකරමින් අවසානයේදී මීලඟ මහා මැතිවරණයෙන් සිය දේශපාලන දිවිය හමාර කරගැනීමට(පූරුවේ පිනක් හේතුවෙන් ජාතික ලැයිස්තුවෙන් පත් නොවූවොත් හැර) කටයුතු කරමින් සිටිති. ජනතාව බොහෝ විට දකින්නේ ඉදිරියට ඇවිද යනවුන් නොව ඉදිරියට ගසාගෙන යනවුන්ය. කීම සහ කෙරීම අතර බොහෝ වෙනස්කම් ඇත. එය මහ මුුහුද තරම්ය.
පොදු විපතකදි හැමවිටම ආණ්ඩුව අසාර්ථකය. ජනතාව සංවේදිය. එමෙන්ම මානුෂිකය. නායයෑම, ගංවතුර ගැලීම්, වෙඩි බෙහෙත් ගබඩා පිපිරිමේ විනාශයට වඩා වැට් බද්ද මාරාන්තිකය. කබලෙන් ලිපට වැටුණා සේ නව වැට් බද්ද ව්‍යසනයෙන් සමස්ථ ජනතාවම පීඩා විදින බව සිහිතබා ගතයුතුය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර 88 පළාත් සභා මන්ත්‍රීවරයෙකු සේ පත්වී ජනතාව අතරට ගියේ 1989 කොළොන්නාව ගංවතුර හරහාය. එදා කොළොන්නාවේ ගැලවුම්කාරිය ලෙස පෙනී සිටි හිරුණිකා දේශපාලන දැරිවිය මෙදා ගංවතුරේදී දුටුවේ නැත. කැඩුණු පවුල් එක්තැන් කරන්නට දඟලන අය ලෝකෙට පරකාසේය. ගෙදරට මරගාතේය. ඇතැම් දෙමාපියන් තම දූ දරුවෝ රටයවා ඉගැන්නුවේය. ලංකාවට ගෙනාවේය. ඡන්දෙට දැම්මේය. මන්ත්‍රීවරුන් කළේය. අපේ දූ පුතුන් ඔවුන් වෙනුවෙන් කොඩිවැල් දමයි. හුරේ දමා රතිඤ්ඤා පත්තුකර කැන්වසින් යයි. දැන් ඔවුන්ට යන එන මං නැත.
ඉකුත් සති කිහිපය තුළ රටේ අසන්නට දකින්නට ලැබුණු ප්‍රවෘත්තීන් ඇත්තෙන්ම හාස්‍යජනකය. ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත් වන්නේ ජය පරාජය නොව සහභාගිවිමය. රටේ පුරවැසියන් ගෙන් අති බහුතරයම වාහන අනවශ්‍ය පුද්ගලයින් බවය. ලොකුම වරද මිනීමැරීම නොව අලි පැටියෙකු තියාගැනීමය, මහ ඇමතිකෙනෙකුට ප්‍රසිද්ධීයේ ඕනෑම කෙනෙකුට බැනිය හැකි බවය. සියල්ල දැන ගත්තේ උදෑසන පත්තරයෙන්ය. කිසිම දෙයක් අදාළ නැති බවය. රටට විපතක්වූ විගස බයියන් අසනුයේ වෙනස සැපද කියාය. ටොයියෝ කියනුයේ ඔය පොල් ගහපුවා තමයි කියාය. ආරක්ෂා අනතුරේය. ගංවතුරෙන් පසු කොළඹ අපායකි. සංවර්ධනය නැවතිලාය. නඩත්තුව කොටඋඩය. රුපියල බාල්දුය. බඩු ගිනි ගණන්ය. දියවන්නාවේ පවා කාර්මික දෝෂයන්ය. ද්‍රවිඩ සහ මුස්ලීම් අන්තවාදය යළි හිස ඔසවමින් පවතී. පතාලය රජ කරමින් සිටී තලංගම කොස්වත්තේ ඊයේද බෝම්බ ප්‍රහාරයකින් දෙදෙනෙකු මිය ගොසිනි. ආණ්ඩුව දැන් හරියට මලගෙදරක අටවැනි දවස වගේය. කන්නත් නැත. බොන්නත් නැත. සෙනගත් නැත. කැරම් ගහන්නේද නැත. පලාතම පාළුවට ගිහිල්ලාය. තහඩු පුටු සහ ටකරන් හට් එක පමණක් ඉතිරිව ඇත. වෙනස මාරය.
ආර්ථිකය ගොඩගන්නට මොළයක් ගෙන ආවේ සිංගප්පූරුවෙන්ය. පැමිණ මාස 11කි. කෑමට වියදම රුපියල් ලක්ෂ 36කි. නවාතැන් වියදම රුපියල් ලක්ෂ 47කි. විනෝද සංග්‍රහ වියදම ලක්ෂ 17කි. ඒ අනුව සාමාන්‍ය දෛනික වියදම රුපියල් 45,000කි. රටේ පුරවැසියන් ගෙන් පොඩ්ඩක් කැපකරන ලෙස ඉල්ලා සිටින ආණ්ඩුවක් මේ යන්නේ කොයි පාරේදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. එදා රාජ්‍ය ආදායම සියයට 23කි. මෙදා රාජ්‍ය ආදායම සියයට 11කි. රට ආපස්සට ගොස් තිබේ. තව වසරක් ඔහුගේ සේවය දීර්ඝ කලහොත් කිව හැක්කේ දී කිරට බළලුත් සාක්කි බව පමණි. මුදල් ඇමති රවී කරුණානායක විශ්වාසභංගයෙන් වැඩි ඡන්ද 94කින් ඊයේ ජයගනු ලැබූවද ඔහු පුටුවේ ඉන්න ඉන්න ‘යහපාලන’ ආණ්ඩුවේ ආයුෂ කාලය අඩුවෙනවාය.
පැණි මොර මල් වෙනුවට රාත්‍රී අහස් කුසට නඟින්නේ ගිනිදළුය. කජු පුහුලන් වෙනුවට ඉදී ඇත්තේ දේශපාලඥයින්ගේ සැප කාර් සිහිනයන්ය. ගුණ්ඩු පැනලා නටන්නේද ඔවුන්ය. වච්චි තියලා දිනුම් කණුව කරායන්නේද ඔවුන්ය. පුංචි සිත්තුල පමණක් නොව වැඩිහිටියන් තුළද සතුටක් මතුවීමට ඉඩක් නැත. දසතින් කොපර කොපර පිපිඤ්ඤාය. පස්ස බැලුවොත් ‘යහපාලන’ දෙසඤ්ඤංය. අපරැක්කේ අමරසේන කංකානම්ගේ පද රචනයක් අනුව එඩිවඩ් ජයකොඩි ගැයූ කොපර කොපර පිපිඤ්ඤා ගීතයටද දැන් නව අර්ථකථනයක් ලැබී ඇත.
ධර්මන් වික්‍රමරත්න