කොවිඩ් – 19 වෛරසය ආසාදනය වන පුද්ගලයින් අතර දින 90ත් 180ත් දක්වා වූ කාලයක් දක්නට ලැබෙන දිගුකාලීන රෝග ලක්ෂණ 09ක් නව අධ්‍යයනයක් මගින් හඳුනාගෙන අති අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කර ඇත.
අසාමාන්‍ය ලෙස හුස්ම ගැනීම, උදර රෝග ලක්ෂණ, මානසික අවපීඩනය, පපුවේ සහ උගුරේ වේදනාව, සංජානන ගැටළු, තෙහෙට්ටුව, හිසරදය, මාංශපේශී වේදනාව සහ වෙනත් වේදනාවන් වශයෙන් අදාළ රෝග ලක්ෂණ හඳුනාගෙන තිබෙන අතර එම රෝග ලක්ෂණ අතරින් කාංසාව/මානසික අවපීඩනය රෝග ලක්ෂණය සියයට 15ක පමණ ඉහළ මට්ටමක පවතින බව පෙන්වා දෙයි.
මෙම රෝග ලක්ෂණ වැඩි වශයෙන් කාන්තාවන් තුළ දක්නට ලැබෙන බවද අදාළ ට්විටර් සටහනේ දැක්වෙන අතර දිගුකාලීන කොවිඩ් රෝග ලක්ෂණ නවීන වෛද්‍ය අභියෝගය විය හැකි බවද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් සදහන් කර තිබේ.