Monday, September 23, 2024

කොරෝනා කාලේ ගොඩ ගිය එකම ව්‍යාපාරය ගැන විමල් කියයි

දේශීය දැව කර්මාන්තයට අත්‍යවශ්‍ය තාක්ෂණික පරිවර්තනයක් පිණිස නොබියව ආයෝජනය කිරීමෙන් A Wood Lanka ආයතනය එම කර්මාන්තයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

පසුගියදා පන්නිපිටියේ පිහිටි ‘A Wood Lanka” ආයතන පරිශ්‍රයේදී නව කර්මාන්ත ශාලාවකට මුල්ගල තැබීමේ සහ දැව පදම් කිරීමේ නවීනතම තාක්ෂණයෙන් යුත් යන්ත්‍රය පණගැන්වීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“යම් කර්මාන්තයක් ඉදිරියට යන විට එයට නව තාක්ෂණය එකතු කිරීමෙන් තමයි එහි යම් හැරවුමක්, සන්ධිස්ථානයක් සනිටුහන් වන්නේ. අද දවස මෙරට දැව කර්මාන්තයේ යම් හැරවුමක්, සන්ධිස්ථානයක් සනිටුහන් කරන දවසක්. අනුර සතරසිංහ මහතා සහ ඔහුගේ පුතණුවන් ඇතුළු පිරිස අපේ රටේ දැව කර්මාන්තයේ අත්‍යවශ්‍ය තාක්ෂණික පරිවර්තනයක් සඳහා ආයෝජනය කර තිබෙනවා. එම තාක්ෂණය මෙරට රැගෙනවිත් තිබෙනවා. එමගින් මේ රටේ පමණක් නොවෙයි, වෙනත් රටවල දැව ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය දියුණු තත්ත්වයේ දැව සැපයීමේ හැකියාව අත්පත් කර ගෙන තිබෙනවා.

දැව කර්මාන්තයේ ඓතිහාසික සන්ධිස්ථානයක්!

මේ රටේ දැව කර්මාන්තයේ ඓතිහාසික සන්ධිස්ථානයක් නිර්මාණය කෙරුම පිණිස නොබියව ආයෝජනය කිරීම පිළිබඳව අපි මේ අවස්ථාවේ අනුර සතරසිංහ මහතා ඇතුළු පිරිසට ගෞරවය සහ ප්‍රණාමය පුදකර සිටිය යුතුයි. මේ විදිහට තාක්ෂණය අත්පත්කර ගැනීමෙන් පමණයි දැව ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ අපට පිම්මක් පැනීමට හැකි වන්නේ. මට පෙර අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මැතිතුමා පැවසූ ආකාරයට අපි අද පසු කරමින් ඉන්නේ අපේ ජීවිත කාලයේ ඉතාමත් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක්. අප වැනි රටවල ආර්ථිකයන් පමණක් නොවෙයි ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල ද ආර්ථිකයන් බිඳ වැටෙමින් තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ වැඩිම යාචකයන් පිරිසක් වාර්තා වන්නේ මේ දිනවල යි. ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් මිලියන ගණනක් ජනතාව රැකියා අහිමි වීමෙන් හිඟා කන තත්ත්වයට පත්ව සිටිනවා. ඒ රටේ මාධ්‍යයන් මේ පිළිබඳව සාකච්ඡා කරනවා. එහෙත් එම රජයට උත්තර සොයා ගන්න බැරිව අසරණ වෙලා තිබෙනවා. එක්තරා ආකාරයකට අපි මේ ඉන්නේ ලෝක ආර්ථිකය එක් ගමනක සිට තවත් ගමනකට පරිවර්තනය වෙමින් තිබෙන වෙලාවක. කොවිඩ් වසංගතයට පෙර පැවති ආර්ථික වාතාවරණය ක්‍රමානුකූලව අපෙන් ඈත් වෙමින් යනවා. වෙනස් අභියෝගාත්මක වාතාවරණයකට අපට මුහුණ දීමට සිදුවී තිබෙනවා. මේ මොහොතේ ගල්අඟුරු නිෂ්පාදනයේ සිදුව ඇති බිඳවැටීම නිසා චීනයේ පවා ඇතැම් ප්‍රාන්ත විදුලි බලය රහිතව පවතින තත්ත්වයකට පත්ව තිබෙනවා.

‘නිෂ්පාදන ආර්ථිකයකට බර තැබීම’

මේ හැම අභියෝගයක්ම අවසානයේ අපට කියන්නේ, ‘දේශීය වශයෙන් අපේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා හැකිතාක් දුරට කැප වෙන්න’ කියායි. ඒ අභියෝගය අද අපි ඉදිරියේ තිබෙනවා. ඒ නිසා තමයි අද අපි සේවා ආර්ථිකයට වඩා නිෂ්පාදන ආර්ථිකයක් ගැන බර තබා ක්‍රියාත්මක වන්නේ. නිෂ්පාදන ආර්ථිකය පැත්තෙන් අවශ්‍ය ඉලක්ක ජයග්‍රහණය කළොත් පමණයි ලෝක පරිමාණව ඇතිව තිබෙන මේ කුණාටුවට අඩුම හානියක් සහිතව අපට මුහුණ දීමට හැකි වන්නේ. බන්දුල ගුණවර්ධන මැතිතුමන් මෙහිදී පෙන්වා දුන්නා, නැව් ගාස්තු 300%කින් ඉහළ ගිහිල්ලා, කන්ටේනර් ගාස්තුත් ඉහළ ගිහිල්ලා, අපේ ඩොලර් ආදායම සැලකිය යුතු වශයෙන් බිද වැටිලා ඇති බව. මේ තත්ත්වය මත කොවිඩ් අර්බුදයත් සමග සෙසු අර්බුදයන්ට මුහුණ දෙන්න බැරිව මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දුෂ්කරතාවන්ට පත්වෙලා. මේ නිසා තමයි මම මහ බැංකු අධිපතිතුමන්ට යෝජනා කළේ, ‘බැංකුවලට උපදෙස් දෙන්න, මග පෙන්වන්න අඩුම වශයෙන් අවුරුදු දෙකක් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට බැංකුවලින් එල්ල වන පීඩනය අවම කරන්න. ඒ වගේම ඉදිරි අවුරුදු 02 තුළ ඔවුන්ට යථා තත්ත්වයට පත්වීමට ඉඩ හැරලා බැංකුවලට ඔවුන්ගේ අයකර ගැනීම් සිදු කරගැනීමට මඟ පෙන්වන්න’කියා.

නොවැටුණු එකම ව්‍යාපාරය බැංකුවයි

මේ කොවිඩ් වසංගතය නිසා අද නොවැටුණු එකම ව්‍යාපාරය බැංකුවයි. 2020 මේ මාස හය සමඟ 2021 මේ මාස 06 සසඳා බැලුවොත් සමහර බැංකුවල ආදායම 100%කින් තවත් සමහර බැංකුවල ආදායම 150%කින් වැඩි වී තිබෙනවා. හැම ව්‍යාපාරයක්ම, කර්මාන්තයක්ම අර්බුදයට යද්දි බැංකුවලට පමණක් ඉතා ශක්තිමත්ව ආදායම් උපයාගන්න හැකිවී තිබෙනවා. තිබෙන්නේ දැන්වීම්වල කියන ආකාරයේ සුහද හදක් ඇති බැංකු නම් මේ වෙලාවේ මේ රටේ පොදු ජනතාව දෙස විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දෙස මීට වඩා සාධාරණ ලෙස බැලිය යුතුයි. එසේ බලන දිශාවකට බැංකු පරිවර්තනය කරන්න, ඊට අදාළ නිසි බලධාරියා වන මහ බැංකුවට පුළුවන් විය යුතුයි. කර්මාන්ත අමාත්‍යාංශයේ දැව ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ උපදේශක කමිටුව ද නියෝජනය කරන අනුර සතරසිංහ මැතිතුමන් දැව කර්මාන්තයේ ඉදිරි ගමනට ලබාදී ඇති ශක්තිය පිළිබඳව නැවතත් කෘතවේදීත්වය පළ කරනවා”

මෙම අවස්ථාවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, A Wood Lanka ආයතනයේ අධිපති අනුර සතරසිංහ, දැව ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති කසුන් ගුණවර්ධන යන මහත්වරු ද එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles