Saturday, September 21, 2024

කොරෝනා මරණ සන්සන්දනය සහ එන්නත්කරණයේ අවශ්‍යතාව

ඊයේ (22) දිනටත් රෝගීන් වාර්තා වීමේ සුළු අඩුවක් පැවතියත්, එය 2000 ඉක්මවා දිගටම පැවතීම ගැන ඇතිවන්නේ බිජමුසු හැඟීමකි..

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ගැබිනි කාන්තාවන් 10 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති බව ප්‍රසව  හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි.

එම විද්‍යාතනය පෙන්වා දෙන්නේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නියම කර ඇති පරිදි එන්නත්කරණයට තෝරාගත් තත්ත්වයන් සහිත ගැබිනි මව්වරුන් සඳහා අගෝස්තු 14 වනදා වනවිට එන්නත්කරණය සිදුකර අවසන් කළ යුතුව ඇති බවය.

මේ අතර ගැබිනි මව්වරුන් සඳහා එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනම් කළයුතු නමුත් එහි ප්‍රමාදයක් මේ වන විට නිරීක්ෂණය වන බව එම විද්‍යාතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පැවසීය.

“ගැබිනි කාන්තාවන් 10දෙනෙක් කොවිඩ් නියුමෝනියාව නිසා මරණයට පත්වෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරලා තියෙනවා සයිනොෆාම් එන්නත ගැබිනි මව්වරුන්ට අනුමතයි කියලා. දැනට පේන විදියට මෙම වැඩසටහන ක්‍රියාත්මක වීම බලාපොරොත්තු තරම් කාර්යාක්ෂම නෑ. ආණ්ඩුව ඒකට සියලුම දේවල් සලස්වලා තියෙනවා. මේක ක්‍රියාත්මක වුණේ නැත්නම් ක්‍රියාත්මක නොවීම නිසා වන සියලුම ප්‍රශ්නවලට වගකීමක් ක්‍රියාවට යෙදවීමට යොදවා ඇති නිලධාරීන් භාරගත යුතුයි.“

මේ අතර නව වෛරස ප්‍රභේදත් සමඟ ලොවපුරා තවදුරටත් කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙද්දී, දකුණු ආසියානු කලාපයේ අනෙකුත් රටවල්වලට සාපේක්ෂව ගෙවුණු සතියේ වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව අතින් ශ්‍රී ලංකාව පසුවන්නේ කුමන තත්ත්වයකද යන්න අපි විමසා බැලීය.

ඉන්දියාව, ඇෆ්ඝනිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය,පකිස්ථානය, මාලදිවයින හා භූතානය යන දකුණු ආසියාතික රටවල් 8හි අවසන් සතියේ කොවිඩ් මරණ වාර්තා වුණේ මේ අයුරිනි.

ඒ අනුව ශ්‍රී ලංකාව ගෙවුණු සතියේ සමස්ත කොවිඩ් මරණ 373 ක් සමග ලැයිස්තුවේ සිව්වන ස්ථානයේ පසුවේ.

ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඉන්දියාව, ඇෆ්ඝනිස්ථානය, බංග්ලාදේශය යන රටවල් පසුගිය සතියේ වැඩි මරණ සංඛ්‍යාවක් සමග ලැයිස්තුවේ ඉහළින්ම සිටී.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවට සාපේක්ෂව එම රටවල් තුනේම ජනගහනය ඉතාම අධික වීම මෙහිදී සැලකිල්ලට ගතයුතු කරුණකි.

නේපාලය, පකිස්ථානය හා මාලදිවයින ගෙවුණු සතියේ අඩු මරණ සංඛ්‍යාවක් සමග ලැයිස්තුවේ පහළට ගොස් ඇති බව පැහැදිලිය.

භූතානයේ අවසන් සතියේ කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නොමැත.

මේ අතර ඩෙල්ටා හෙවත් ඉන්දියානු වෛරස ප්‍රභේදය ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයෙකු හඳුනාගත් මාදිවෙල ප්‍රගතිපුර පාර ප්‍රදේශයේ කොටසක් ඊයේ (22)සිට හුදකලා තත්ත්වයට පත්කර තිබේ.

සැකසහිත මුල් ආසාදිත පුද්ගලයාගේ මවද කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයට යොමු කර ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කළේය.
-adaderana-

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles