Thursday, January 16, 2025

කොවිඩ් ආසාදිතයින්ගෙන් රෝහල් රැසක් පිරීගොස් ඔමික්‍රෝන් පැතිරීම දරුණු වෙයි. බූස්ටර් එන්නත හැකි ඉක්මනින් ලබා ගන්න

කොවිඩ් වෛරසය ඉතාමත් දරුණු අන්දමින් මේ දිනවල රට පුරා පැතිර යමින් පවතින අතර ආසාදිතයන්ගෙන් රෝහල් රැසක් මේ වනවිට පිරීගොස් ඇතැයි ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා පවසනවා.

මේ වනවිට රෝහල්වල දැඩි සත්කාර ඒකක සියයට 80 ක් කොවිඩ් ආසාදිතයන්ගෙන් පිරීගොස් ඇති අතර ඔක්සිජන් මත ප්‍රතිකාර ලබන ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 55 ක් ඉහළ ගොස් ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

දියවැඩියාව වැලඳී ඇති අය කොවිඩ් ආසාදිත වුවහොත් ඔවුන්ට දැඩි සත්කාර ඒකක තුළ ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බව පෙන්වා දුන් ඇමැතිවරයා මේ වනවිට ආසාදිතව සිටින රෝගීන් බොහෝ දෙනකු බූස්ටර් එන්නත ලබා නොගත් අය බව දැනගන්නට ඇතැයි සඳහන් කළේය.

මේ වනවිට බූස්ටර් එන්නත ලබානොගත් අය මිථ්‍යා මතවලට නොරැවටී එන්නත ලබා ගන්නා ලෙසට ඉල්ලීමක් කළ ඇමැතිවරයා, රජය ජනතාවගේ ජීවිත ආරක්ෂාවට නොමිලයේ ලබා දෙන එන්නත ලබා නොගෙන තමන්ගේ ජීවිත කොවිඩ් මාරයාට බිලිවීමට ඉඩ නොදෙන්නැයි ඉල්ලීමක් කළේය.

දැනට මෙරටට ගෙන්වා ඇති බූස්ටර් එන්නත් ජූලි මාසය වනවිට කල් ඉකුත්වන බව සඳහන් කළ ඇමැතිවරයා එම එන්නත ලබා ගැනීමට ලැබී ඇති අවස්ථාව ගිලිහී යෑමට ඉඩ නොදෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මේ වනවිට දිනකට කොවිඩ් ආසාදිතයන් 800 ඉක්මවා යන තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් ලබන සතිය වනවිට කොවිඩ් ආසාදිතයන් දහස ඉක්මවා යන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවද මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles