Saturday, October 19, 2024

කොවිඩ් එන්නත ලංකාවට දෙන්න සූදානමක්

කොවිඩ්-19 වෛරස රෝගයට ප්‍රතිකාර පිණිස ඉන්දියාව නිෂ්පාදනය කරන එන්නත සෙසු රටවලට සැපයීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයදීමට සූදානම් බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසා තිබේ.
 
දෙදින චාරිකාවක් සඳහා ඊයේ (05) දිවයිනට පැමිණි ඉන්දීය ඇමතිවරයා අද (06) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු විය. 

අනතුරුව පැවති සාකච්ඡාවේදී කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන අදහස් පළ කළ ජනාධිපතිවරයා ඉන්දියාව නිෂ්පාදනය කරමින් සිටින කොවිඩ් එන්නත, ප්‍රතිකාර අවශ්‍යතාව නිවැරදිව ඇස්තමේන්තු කිරීමෙන් පසු ලබාගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බව දැන්වීය.
 
සෙසු රටවලට එන්නත අපනයනය කිරීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දෙන බවට ඉන්දීය විදේශ ඇමතිවරයා පොරොන්දු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. 

ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා අන්නෝන්‍ය ප්‍රතිලාභ උපරිම වන අයුරින් වර්ධනය කිරීමට ජනාධිපතිවරයා සහ ඉන්දීය ඇමතිවරයා එකඟත්වය පළ කළහ. 

ඉන්දීය සහභාගීත්වය සහිතව දැනටමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අමතරව සහයෝගීතා වර්ධනය පුළුල් කළ හැකි තවත් ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡාවේ දී හඳුනා ගනු ලැබීය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, LNG බලාගාර ව්‍යාපෘතිය, නිවාස හා මාර්ග ඉදිකිරීම, කෘෂිකාර්මික සංවර්ධනය සහ පර්යේෂණ, සන්නිවේදන තාක්ෂණය, විකල්ප බලශක්ති මුලාශ්‍ර සංවර්ධනය ගැනද අදහස් හුවමාරු වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles