Saturday, September 21, 2024

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 30ක් ඉවත් කරයි

කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව පහළ යෑම නිසා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.

මේ අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන 30ක් එම කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් කළ බව කොවිඩ් 19 සම්බන්ධීකාරක සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.

කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ පහත බැස්ම විශ්ලේෂණය කර සෙසු මධ්‍යස්ථානද ඉදිරියේදී ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර ගන්නා බව හෙතෙම සඳහන් කළේය.

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ඇඳන් තිස් හතර දහස් හතෙන් ඇඳන් දහනම දහස් හය සිය හැටක් මේ වනවිට හිස්වී ඇතැයි පැවසූ හම්දානි මහතා කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන් කෙරුණු දැඩිසත්කාර ඒකක ඇඳන්වලින් සියයට හතළිහක් පමණද හිස්වී ඇතැයි පැවසුවේය.

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස අඩුවී රට කොරෝනා රතු කලාපයෙන් කොළ කලාපයට පැමිණ ඇති බවද පවතින තත්වය ආරක්ෂා කර නොගතහොත් රතු කලාපයට ඉතාම ඉක්මනින් යළි ගමන් කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

රට පවත්වාගෙන යෑම සඳහා යම් යම් සෞඛ්‍ය නීති ලිහිල් කෙරුණද ජනතාව මූලික සෞඛ්‍ය නීති වලට අනුගත වෙමින් දිගටම කටයුතු කිරීම ඉතා වැදගත් බවද ඔහු පෙන්වා දුන්නේය.

කොවිඩ් පාලනය සඳහා දායකත්වය දැක්වූ සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශවල නිලධාරීන්, රජයේ වෙනත් අංශවල නිලධාරීන් සහ මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය ආයතන සහ ඒවායේ මාධ්‍යවේදීන් දැක්වූ සහයෝගය අගය කරන බව අන්වර් හම්දානි මහතා වැඩිදුරටත් පැවැසීය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles