Sunday, October 20, 2024

කොවිඩ් වසංගතය හේතුවෙන් කල්දැමූ කැබිනට් සංශෝධනය – පවිත්‍රාට විදුලිබල, ප්‍රසන්නට අධ්‍යාපන

ඊයේ දිනයේදී කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව තිබූ බවත් හදිසියේම යළිත් කොවිඩ් වසංගත තත්වය ඉහළ යාම හේතුවෙන් එය කල්දමා ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙම කැබිනට් සංශෝධනය හරහා අමාත්‍යවරුන් රැසකගේ විෂයයන් වෙනස් කිරීමට නියමිතව තිබූ බවයි වාර්තා වන්නේ.

පසුගිය කාලය පුරා කතාබහට ලක් වූ සෞඛ්‍ය අමාත්‍යංශය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ගලවා වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයට කෙහෙළිය රඹුක්වැල්ල මහතාත්, විදුලිබල අමාත්‍ය ධුරයට පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත් පත් කිරීමට නියමිතව තිබිණි. මීට අමතරව ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයටත්, ජී.ඇල්, පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍ය ධුරයටත් පත් කිරීමට නියමිතව තිබූ අතර දිනේෂ් ගුණවර්ධන මහතා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් ප්‍රසන්න රණතුංග මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් පත් කිරීමට නියමිතව තිබිණි.

අධ්‍යාපන අමාත්‍යංශය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීමට සූදානම්ව තිබූ අතර කෙසේ නමුත් පොහ‍ොට්ටුවේ මැති ඇමතිවරුන් පවසා තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍ය ධුරය පොහොට්ටුව සතුව තිබිය යුතු බවයි. ඒ අනුව එය දෙකට කඩා උසස් අධ්‍යාපන විෂයයන් පමණක් දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීමට අවසානයේදී තීරණය කර තිබෙනවා.

සරත් වීරසේකරගේ අමාත්‍ය ධුරය වෙනස් කරන බවක් මිට ඉහත දී වාර්තවුවද ඊයේ සිදුකිරීමට නියමිතව තිබු ලයිස්තුවේ ඔහුගේ නම ඇතුලත්ව නොතිබුන බවද කියවේ.

මෙම කැබිනට් සංශෝධනය කල්දමා ඇත්තේ කෝවිඩ් වසංගත තත්වය තුල පුද්ගල හමුවීම් සීමාකරන ලෙස ජනාධිපතිවරයාට ලැබී ඇති විශේෂඥ උපදෙස්මත බවද පැවසේ.

ජනාධිපතිවරයා සහභාගිවන රැස්වීම හා වෙනත් ඕනෑම හමුවීමකට පෙර සෞඛ්‍ය නිලධාරීන් කණ්ඩායමක් විසින් එසේ හමුවීමට නියමිත පුද්ගලයින් කෝවිඩ් ඇන්ටිජන් පරික්ෂාවකට ලක්කරන බවත්, පෙරේදා සවස එසේ හමුවීමට නියමිතව සිටි නිලධාරීන් 5 දෙනෙකුට කෝවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරුවීමත් වීමත් සමග ජනාධිපතිවරයා පුද්ගලයින් හමුවීම සීමාකර ඇති බවත් වාර්තාවේ.

ඊයේ කැබිනට් රැස්වීම ද සුම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීන්දුකර ඇත්තේ ඒ අනුවබව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍ර – leader.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles