Thursday, January 23, 2025

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය ගැන ලංකාව ගත් තීරණය

බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් වෛරසයේ “නව ප්‍රභේදයේ වේගවත් ව්‍යාප්තිය” නිසා ඉදිරියේදී බ්‍රිතාන්‍යයේ තත්ත්වය දරුණු වනු ඇති බවට ලන්ඩනයේ නවතම අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙයි.

දෙමසකටත් අඩු කාලයක් තුළ මෙම නව ප්‍රභේදයේ ආසාදිතයින් ලොව පුරා රටවල් 32කට අධික සංඛ්‍යාවකින් වාර්තා වීම විශේෂත්වයකි.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි පර්යේෂකයින් මෙම නව ව්‍යාප්තිය පිළිබඳ ව අධ්‍යයනය සිදුකර ඇත්තේ වසංගතයක දරුණුභාවය නිර්ණය කිරීමට යොදා ගැනෙන දර්ශකයක් වන “R අගය” සහ තවත් නිර්ණායක ඇසුරිනි.

යම් රෝගයක් සමාජය තුළ පැතිර යා හැකි වේගය විද්‍යාත්මකව නිර්ණය කෙරෙන අංකය R අගය, නැතහොත් “The reproduction number” ලෙස හැඳින්වෙයි.

R අගයෙන් අර්ථ ගැන්වෙන්නේ එක් ආසාදිතයෙකු නිසා ආසාදනය වන සාමාන්‍ය පුද්ගලයින් සංඛ්‍යාවය. 

එය 1 ට වඩා වැඩි නම් එය වසංගතයේ දරුණු වර්ධනයක් පෙන්නුම් කරයි.

මෙම නව වාර්තා පෙන්වා දෙන්නේ මේ වනවිට එක්සත් රාජධානියේ  R අගය 1.1 ත් 1.3 ත් අතර පවතින බවය.

නව ප්‍රභේදයේ R අගය පෙර වෛරසයට වඩා 0.4 ත් 0.7 ත් අතර ප්‍රමාණයකින් වැඩි බව ද එම වාර්තාව හෙළි කරයි.

වයස අවුරුදු 20ට අඩු පිරිස අතර මෙම නව ප්‍රභේදය වැඩිපුර ව්‍යාප්ත වන බව මුල් දත්තවලින් ප්‍රකාශ කෙරුණ ද නව අධ්‍යයනය හෙළි කරන්නේ එය සියලු වයස් කාණ්ඩ අතර වේගයෙන් ව්‍යාප්ත වන බවය. 

බ්‍රිතාන්‍ය තුළ කොවිඩ් වෛරස නව ප්‍රභේදයේ ව්‍යාප්තිය පළමුව හඳුනාගැනුණේ පසුගිය නොවැම්බර් 18 වැනිදාය.

බ්‍රිතාන්‍යයේ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව පසුගිය 31 වැනිදා වාර්තා වූ අතර එය 55,892කි.

නව ප්‍රභේදයේ ව්‍යාප්තිය සමඟ අසාදිතයින් 320,000කට අධික සංඛ්‍යාවක් ගතවූ සතියේ එරටින් වාර්තා විය.

මේ තත්ත්වය හමුවේ බ්‍රිතාන්‍යයට සංචරණ සීමා පැනවූ රටවල් සංඛ්‍යාව 50 කට අධිකය.

ව්‍යාප්තිය හඳුනාගැනුණු පසුගිය නොවැම්බර් 18 වැනිදා සිට දෙමසකටත් අඩු කාලයක් තුළදී අද වන විට මෙම නව වෛරසය රටවල් 32කට වැඩි සංඛ්‍යාවක පැතිරී තිබේ.

යුරෝපය,මැද පෙරදිග, ආසියානු, ඔස්ට්‍රේලියා ඇතුළු කලාප රැසකටම මේ වන විට නව වෛරස ප්‍රභේදය පැතිරී ගොස් ඇතිබව වාර්තා වේ.

දැනටත් කොවිඩ් වසංගතයේ වැඩිම බලපෑමට ලක්ව ඇති අමෙරිකාවෙන් ද මෙම නව වෛරස ප්‍රභේදය හඳුනාගැනුණු බවට පසුගියදා නිවේදනය කළේය.

ඒ ෆ්ලොරිඩා ,කොලරාඩෝ සහ කැලිෆෝනියා යන ප්‍රාන්තවලිනි.

මෙම නව වෛරස ප්‍රභේදය පිළිබඳ නිවේදනය කිරීමත් සමග ශ්‍රී ලංකාව ද බ්‍රිතාන්‍ය සමග පැවති ගුවන් ගමන් යළි දැනුම්දෙන තෙක් අත්හිටුවීමට වහා පියවර ගත්තේය.

එරටින් පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම ද තාවකාලිකව නවතා දැමුවේ ද ඒ සමගිනි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වෛරස සම්බන්ධයෙන් මෙරට තුළ සිදුවන පරීක්ෂණ සීඝ්‍රතාව ඉහළ නැංවීමට ද සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.

ඒ පිළිබඳව පැහැදිලි කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ 
මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවේ මෙවැන්නක්…
“අපේ විශ්වවිද්‍යාලයේ රසායනාගාරය කොවිඩ් වසංගතය ලංකාවේ දකින්න ලැබුණ දවසේ ඉඳලා ඒ කියන්නේ මාර්තු මාසයේ සිට මේ ලංකාවේ තියෙන වෛරස් ප්‍රභේද පරීක්ෂණයට ලක්කරමින් පවතිනවා. එහෙම පරීක්ෂණයට ලක්කරන්නේ ඇත්තටම අලුත් වෛරස් ප්‍රභේද ලංකාවට එයි ද ඊට පස්සේ අපි දන්නවා වෛරසයක් පරිණාමය වෙනවා. ඒකයි බ්‍රිතාන්‍යයේ සහ දකුණු අප්‍රිකාවේ තියෙන වෛරස් ප්‍රභේදයත් වැඩි වැඩියෙන් වර්ගයා බෝකිරීමට එහෙම හැඩගැහිලා තියෙනවා. ඒවගේ ජාන විකෘතියක් අපේ වෛරස්වල තියෙනවා ද බලන්න දිගටම පරීක්ෂණ කරමින් යනවා. නමුත් මාසයකට සැරයක් විතර කරපු එම පරීක්ෂණ අපි තීරණය කරලා තියෙනවා හැම මාසයකම තියෙන වෛරස් ප්‍රභේද විතරක් එහෙම අධ්‍යයනය කරන්නේ නැතුව වෛරස් ජාන පරීක්ෂාව වැඩි ශීඝ්‍රතාවයකින් සති දෙකකට සැරයක් කරන්න. එයට ලෝක සෞඛ්‍ය සංවිධානය ආධාර ලබාදීලා තියෙනවා.“

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles