Friday, September 20, 2024

කොස්‌ගොඩ සිද්ධියට ඊයේ බටපොල දී වෙඩි පත්තුවෙයි

කොස්‌ගොඩ සිව් මිනිස්‌ ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන තාරක නමැති පාතාල නායකයාගේ මාමා, ඔහුගේ කුඩා දරුවන් තිදෙනා ඇතුළු පස්‌දෙනකු ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක්‌ විසින් ඇල්පිටිය බටපොල ප්‍රදේශයේදී වෙඩි තබා බරපතළ තුවාල සිදුකර පළා ගොස්‌ ඇත.

මෙහිදී බරපතළ තුවාල ලැබූ තාරක නමැති පාතාල නායකයාගේ මවගේ බාල සොහොයුරා වන මුජිත සහ අවුරුදු 3, 7 හා 13 වයස්‌වල පසුවන ඔහුගේ දරුවන් තිදෙනා හා මෝටර් රථ අලුත්වැඩියා කරන්නකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මේ ප්‍රහාරයත් සමඟ ඇල්පිටිය කොස්‌ගොඩ ප්‍රදේශවල ජනතාව දැඩි භීතියට පත්ව සිටින අතර විශේෂ කාර්ය බළකාය හා පොලිසිය ප්‍රදේශය පුරා මෙහෙයුමක්‌ දියත් කර ඇත.

මෙම ප්‍රහාරය තාරක නමැති පාතාල නායකයාගේ ප්‍රධානම ප්‍රතිවාදියා ලෙස සැලකෙන කොස්‌ගොඩ සුජීගේ ගෝල බාලයන් එල්ල කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මෙහිදී තුවාල ලැබූ මුජිත නමැත්තා මීට ඉහත කොස්‌ගොඩ ප්‍රදේශයේ සිදුවූ මිනිමැරුමක්‌ සම්බන්ධ චෝදනා එල්ල වූ පුද්ගලයෙකි.

ඔහුගේ මෝටර් රථය අලුත්වැඩියා කිරීම සඳහා බටපොළ ප්‍රදේශයේ ගරාජයකට පැමිණ ඇත්තේ දරුවන් තිදෙනා සමඟය. මෝටර් රථය අලුත්වැඩියා කිරීමෙන් පසු රාත්‍රි 7.30 ට පමණ ගරාඡ් හිමියා ඔහුගේ නිවස වෙත රැගෙන යද්දී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

මුජිත ගමන් කළ මෝටර් රථය පසුපස යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක්‌ ටී 56 අවියකින් වෙඩි තබා ඇත.

මෙහිදී තුවාල ලැබූවන්ගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

පසුගිය 30 වැනිදා කොස්‌ගොඩ සිදුවූ සිව් පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු කියන තාරක නමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ කණ්‌ඩායම් 5 ක්‌ විමර්ශන කරමින් සිටියදී ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලිය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි නිහාල් තල්දූව මහතාගේ උධීක්‍ෂණයෙන් පරීක්‍ෂණ කටයුතු සිදුවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles