කෝටි 50ක වංචාවක් ගැන FCID පරීක්ෂණ

0
360

ඇඹිලිපිටිය කඩදාසි කම්හල ප්‍රතිව්‍යුහගත කිරීමේදී සිදු වූ බව කියන රුපියල් කෝටි 50කට අධික වංචාවක් පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට ඊයේ (09දා) දැනුම් දුන්නේය.

ඇඹිලිපිටිය කඩදාසි කම්හල 2011 නොවැම්බර් මාසයේ ප්‍රතිව්‍යුහගත කළ අතර, එහිදී සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් මෙලෙස පරීක්‍ෂණ ආරම්භ කළ බව කොට්ඨාසයේ නිලධාරීහු මෙලෙස අධිකරණයට දැනුම්දුන්හ.

මාතර, හිත්තැටියේ පදිංචි සමන් පුෂ්පකුමාර මහතා දූෂණ මර්දන කමිටු කාර්යාලයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ පොලිස්පතිවරයා එම පැමිණිල්ල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට යොමු කොට ඇති අතර, එහි නිලධාරීන් විසින් ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කරන ලදී.

ෙඑම විමර්ශනයට අදාළව සිදුකරන ලද පරීක්‍ෂණවලදී හෙළි වූ තොරතුරු හා එම පරීක්‍ෂණවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් නිලධාරීහු මේ බව දැනුම් දුන්හ.

මෙම සිද්ධියට අදාළව සිදුකරන පරීක්‍ෂණවලදී හෙළි වන තොරතුරු පිළිබඳවද අධිකරණයට දැනුම්දීමට පියවර ගන්නා බව නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here