Sunday, January 12, 2025

ගංවතුර අවදානමක් ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

කැළණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල ඉදිරි පැය 06 – 12 අතර කාලය තුළ සුළු ගංවතුර තත්වයක් ඇතිවීමේ අවධානමක් ඇතැයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර අවධානමක් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අදාළ ප්‍රදේශවල ජනතාවට මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසටද දැනුම් දී තිබෙනවා.

පවතින අධික වර්ෂාවත් සමග අත්තනගලු ඔය, කළු ගඟ සහ කුඩා ගග ආශ්‍රිත පහත්බිම්වල ඉදිරි පැය කිහිපය තුළ සුලු ගංවතුර තත්වයක් ඇති විය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම මහ ඔය, නිල්වලා සහ ගිං ගංගා අවට වාසය කරන ජනතාවටද දැඩි අවධානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

මේ අතර දිස්ත්‍රික් 10 කට පණවා ඇති නාය යෑමේ අනතුරු ඇගවීම අද රාත්‍රී 08 යි 30 දක්වා දීර්ඝ කර තිබෙනවා.

කොළඹ, බදුල්ල, ගාල්ල, කළුතර, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික් සඳහායි මෙම නායයෑමේ අනතුරු ඇගවීම් නිවේදනය බලපැවැත්වෙන්නේ.

මේ අතර ඉදිරි පැය 24 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුර, වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලත් අනුරාධපුර, මහනුවර, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

මාතලේ, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 පමණ තද වැසි ඇති විය හැකියි.

අධික වර්ෂාවත් සමග පුත්තලම ප්‍රදේශයේ මාර්ග දෙකක් කිලෝමීටර 2ක් පමණ දුරට ජලයෙන් යටවී තිබෙනවා.

පුත්තලම නගරයේ සිට කොළඹ දෙසට ඇති පාලවි ප්‍රදේශය සහ පුත්තලම සිට කුරුණැගල මාර්ගය අරලිය උයන 2 කණුව තම්බපන්ණි යන ප්‍රදේශවල මාර්ගය මෙලෙස ජලයෙන් යටවී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles