Sunday, December 29, 2024

ගම්පහ ටියුෂන් පන්තියේ කැමරාව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

ගම්පහ නගරයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කාන්තා වැසිකිළියක තිබියදී සොයාගත් කැමරාව සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නියම කළා.

අදාළ උපකරණය උපයෝගී කරගනිමින් ඡායාරූප ලබා ගැනීමක් හෝ වීඩියෝ ගත කිරීමක් කළ හැකි නම් එහි පටිගත වන දර්ශන බාහිර උපකරණයක් මගින් හැසිරවිය හැකි ද යන්නත් එසේත් නොමැති නම් ගබඩා කළ හැකි ද යන්නත් එහිදී විමසා බලන ලෙසයි අධිකරණය නියම කර ඇත්තේ.

ගම්පහ නගරයේ පිහිටි පුද්ගලික අධ්‍යාපන ආයතනයක කාන්තා වැසිකිලියේ කැමරාවක් – අගල් එකහමාරක් දිග කේබල් එකක් සහ පවර් බෑන්ක් එකක් නඩු භාණ්ඩ ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් එම උපකරණ රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම උපකරණය කුමක්ද ? එයින් සිදුකල හැකි කාර්යයන් කුමක්ද ? මෙම උපකරණය මෙරට නිෂ්පාදිතද ? එසේ නොමැති නම් විදේශීය රටක නිෂ්පාදිත එකක්ද ? යන්න ඇතුලු ප්‍රශ්න 06 කට අදාළ වාර්තාව කඩිනමින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නියම ක⁣ළා.

මෙම කාන්තා වැසිකිළිය තුළ සී.සී.ටී. වී කැමරාව සවි කළේ කවුද යන්න අනාවරණය වී නැතැයි පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළා.

සිද්ධියට පාදක වී ඇති වැසිකිලිය එම පුද්ගලික අධ්‍යාපන ආයතන පරිශ්‍රය තුළ පිහිටා ඇත්නම් පාලන අධිකාරියට වගකීමෙන් කිසිසේත් බැහැර විය නොහැකි බව අධිකරණය අවධාරණය කළා.

සිද්ධිය සම්බන්ධයෙන් නිසි ලෙස පරීක්ෂණ සිදුකර වගකිවයුත්තන් ඇත්නම් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය පොලීසියට නියම කළේ.

එම පුද්ගලික අධ්‍යාපන ආයතනයට පැමිණෙන දරුවන් / එහි සේවකයින් සහ දෙමාපියන් මෙන්ම පාලනාධිකාරිය ඇතුළු ගුරු භවතුන් රැසකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බව එම අවස්ථාවේදී පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles