ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 40,327ක් , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ 6 කටද කොරෝනා

0
435

කොවිඩ් දෙවන රැල්ලේ ඊයේ (7) උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 40,327 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර පැය 24 ක කාලය තුළ ආසාදිතයින්  444 දෙනෙකු හමුව ඇත.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙන් මේ බව පෙන්නුම් කෙරෙන අතර ඊයේ උදෑසන වනවිට පැය 24 ක් තුල 75 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බව එහි සදහන්ය.

දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව එම කාලය තුළ අත්තනගල්ල  කොට්ඨාසයෙන් – 60 ක්, වත්තල  – 51ක්,  මීරිගම  – 44 ක්,  දොම්පෙ සහ මහර කොට්ඨාසයන්ගෙන් – 41 දෙනෙකු බැගින්,  ගම්පහ  – 34 ක්,  කැලණිය  – 29 ක්,  සීදූව – 20 ක්,  ජාඇල සහ දිවුලපිටිය කොට්ඨාසයන්ගෙන් – 17 දෙනෙකු බැගින්,  මිනුවන්ගොඩ සහ මීගමුව – 6 ක් වශයෙන්ද,  රාගම –  2 ක් සහ කටාන කොට්ඨාසයෙන් එක් අයෙකු වශයෙන් හමුව ඇත.

පැය 24 තුල ප්‍රතිකාර පිනිස දිස්ත්‍රික්කයේ රෝහල්වලට ඇතුලත් කොට ඇති ආසාදිතයින් සංඛ්‍යාව 248 දෙනෙකු බවත් ආසාදිතයින්ගේ පළමු පෙළ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 17,811 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති බවත් වෙබ් අඩවියෙහි සදහන්ය. 

දිස්ත්‍රික්කයෙහි කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 ක් තුල  ආසාදිතයන් 61 දෙනෙකු හමුව ඇති අතර ඉන් 42 දෙනෙකු කටුනායක ආයෝජන කලාපයෙහි  කර්මාන්තශාලා ආශ්‍රිතව සහ බියගම කලාපයෙන් ආසාදිතයින් 18 දෙනෙකු සහ වෙනත් කර්මාන්තශාලාවලින් ආශ්‍රිතව එක් අයෙකු වශයෙන් හමුව ඇත.

දැනට පී.සී.ආර් පරීක්ෂණයකට ගම්පහ දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 2,92,448 දෙනෙකු භාජනය කොට ඇත.

ගම්පහ ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්ත විමර්ශන ඒකකයකින් කොවිඩ්  ආසාදිතයින් පොකුරක් නිර්මාණය වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය (06) සඳහන් කළේය .

එම විමර්ශන ඒකකයේ  ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් සහ  නිලධාරිනියන් 06ක් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බවත් එම ආසාදිතයින්  හය දෙනා රෝහල්ගත කිරීමට පියවර ගත් බවත් සෞඛ්‍ය අංශ නිලධාරීහු පැවසූහ .

එම ආසාදිත පොලිස් නිලධාරීන් සහ නිලධාරීනියන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන්  මෙන්ම ඔවුනගේ පවුලේ උදවිය ඇතුළු 50 කට ආසන්න පිරිසක් නිරෝධායන ට යොමු කිරීමට කටයුතු කළ බව ද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසයි .

එසේ නිරෝධායනයට යොමු කළ පිරිස අතර ගම්පහ පොලිස් නිල නිවාස 04 ක පදිංචි පොලිස්   නිලධාරීන් හා නිලධාරිනියන් ඇතුළු ඔවුනගේ පවුලේ උදවිය සිටින බව සෞඛ්‍ය අංශ පවසයි .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here