Tuesday, December 24, 2024

ගම්පහ දිස්ත්‍රික් ලේකම් අසාර්ථක රාජ්‍ය සේවකයෙක්-අගමැති කාර්යාලය

මහත් ආන්දෝලනයකට පත්ව තිබෙන දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා රජය අපහසුතාවට පත්කරමින්, වෘත්තීය සමිති නායකයකු ලෙස කටයුතු කරන බවට අග්‍රාමාත්‍ය කාර්යාලය චෝදනා කරයි.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇති ලිපියේ පිටපතක් අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබී ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට යොමුකර ඇති ලිපියක මේ බව සඳහන් වෙයි.

දිස්ත්‍රික් ලේකම්වරයා සෘජුවම සිද්ධිය පිළිබඳ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම්දිය යුතුව තිබියදී අදාළ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කළේ ඇයිද යන්න පැහැදිලි නොවන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රශ්න කර සිටී.

ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා දෙපාර්තමේන්තු ප්‍රධාන නිලධාරියකු ලෙස තමන් යටතේ සිටින නිලධාරීන් හසුරුවා ගැනීමට හැකියාවක් තිබිය යුතු බවත්, මේ සිද්ධියේදී දිස්ත්‍රික් ලේකම්වරයා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වශයෙන් සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ අස්සනින් යුතුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකළ එම ලිපියේ තවදුරටත් දැක්වෙන්නේ අමාත්‍යාංශයේ සුදුසු කටයුතු සඳහා එය යොමුකර ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles