2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරග කළ මෛත්‍රීපාල සිරිසේන වටා ජනතාව පෙළ ගැසුණේ දූෂණය, නාස්තිය, පවුල් පාලනයට එරෙහිව ශිෂ්ට රටක් බිහි කිරීමේ මුඛ්‍ය පරමාර්ථයෙනි. තරමක් ප්‍රමාද වී හෝ රටේ අතිබහුතරයක් දෙනා තුළ වූ එම අහිංසක බලාපොරොත්තුවට සාධාරණයක් ක්‍රමයෙන් ඉටු වෙමින් තිබේ. රාජපක්ෂ පාලනය සමයේ, ව්‍යාජ සළුපිළි පොරවාගෙන සිටි වංචනිකයන්ගේ සැබෑ කෙරුවාව, දැන් එකින් එක සමාජය ඉදිරියේ නිරාවරණය වෙමින් පවතී. අපරාධකරුවන් සම්බන්ධයෙන්, සැහැල්ලුවෙන් කටයුතු කරන බවට රජයට චෝදනා එල්ල වූ පසුබිමක පමා වී හෝ දැති රෝද කැරකීමට පටන්ගෙන තිබීම ප්‍රශංසනීයය. උදය ගම්මන්පිල මෙන්ම, විමල් වීරවංශගේ ප්‍රධානතම ගෝලයා වූ මොහොමඩ් මුසම්මිල් ද මේ වන විට සිටිනුයේ බන්ධනාගාරයේය. රාජපක්ෂ පාලන සමයේ රටේ සිදු වූ හොරකම්, නොපනත්කම් සමඟ බලන කල ගම්මන්පිල හා මුසම්මිල් සිදුකර ඇති වංචාවේ පරිමාව “කළු ගඟින් පොල් මුඩ්ඩක් යෑමකට” වඩා වැඩි දෙයක් නොවන මුත්, දූෂිත තක්කඩි දේශපාලනඥයන්ට වැදගත් සංඥාවක් එය ලබා දී ඇත. ඒ “සූදානමින් සිටින ලෙස” ය.
බලාපොරොත්තු විය යුතු ආකාරයටම ඒකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා කණ්ඩායම ගම්මන්පිල හා මුසම්මිල්ව සිරගත කිරිම දේශපාලන ප්‍රශ්නයක් බවට පත්කරගෙන තිබේ. ඔවුනට අනුව ගම්මන්පිල හා මුසම්මිල් යනු දේශපාලන සිරකරුවෝය. එය කෙතරම් සැබෑවක් ද? මෙය මඳක් විමසා බැලීම වැදගත්ය.
රජයේ වගකීම නොඑසේනම් එහි ක්‍රියාකාරිත්වයට විරුද්ධ වූ හෝ එය ප්‍රශ්න කළ කෙනෙකු ඒ නිසා සිරගත කළ විට එවැන්නෙකු දේශපාලන සිරකරුවකු ලෙස සාමාන්‍යයෙන් හැඳින්වේ. මේ පිළිබඳ විවිධ කියවීම් පැවැතිය හැකිමුත් ඒ පිළිබඳ ඇති සාමාන්‍ය කියවීම එයයි. එබඳු දේශපාලන සිරකරුවන් අනන්තවත් ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී අපට හමු වේ. දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී ප්‍රතිපත්තියට එරෙහිව සටන් කළ නිසා විසිහත් වසරක් සිරගත වීමට සිදුවූ නෙල්සන් මැන්ඩෙලා එවැන්නෙකි. ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලමින් මියන්මාරයේ අරගල කළ, අවුන් සාන් සූකී එවැන්නියකි. 1990 වසරේ සිට 2010 දක්වා වූ වසර 20න් 15ක්ම ඇයට ගත කිරීමට සිදු වූයේ කොටු වූ ජීවිතයකි. හිටපු පාකිස්තාන අගමැතිනී බෙනාසිර් භූතෝගේ තත්ත්වය ද ඊට දෙවැනි නොවීය. සියා උල් හක්ගේ සමයේදී සිවු වසරක් දේශපාලන සිරකාරියක ලෙස සිටීමට ඇයට සිදු විය. ආර්ජෙන්ටිනාවේ හිටපු ජනාධිපති කාලෝස් මෙනම් මෙන්ම ප්‍රතිවිරුද්ධ දේශපාලන මත දැරීම නිසාවෙන් වසර අටක් බන්ධනාගාර ගත වීමට සිදුවූ ඉතාලි ලේඛක අන්තෝනියෝ ග්‍රාම්ස්චි යනු එවැන්නන්ය. ඊටත් අමතරව ලෝක යුද්ධයට එරෙහි වීම මත මාස 06ක් සිරබත් කෑ බර්ට්‍රන්ඩ් රසල් මෙන්ම යටත්විජිත පාලන සමයේ කිහිප වරක් සිරබත් කෑ මහත්මා ගාන්ධි ද දේශපාලන සිරකරුවන් ලෙස අපට වර්ග කළ හැකිය. ජාත්‍යන්තරය තුළ පමණක් නොව මේ රට තුළ ද එබඳු දේශපාලන සිරකරුවෝ අපට මුණ ගැසේ. පිලිප්, ඇන්.ඇම්., කොල්වින් යන සාම්ප්‍රදායික වමේ පුරෝගාමි නායකයෝ ඊට උදාහරණය. සටන්කාමි ප්‍රජාතන්ත්‍රවාදීන් වූ ඔවුන්ට ජනතා විරෝධය රජයට දමා ගැසීමේ වරදට බන්ධනාගාරගත වීමට සිදු විණි. එසේ නැතුව ඉහත නම සඳහන් කළ කිසි කෙනෙක් සිරගත වූයේ සොරකම් කර නොවේ. දේශපාලන සිරකරුවන්ගේ ඉතිහාස කථාව යනු එබඳු සාඩම්බර ප්‍රෞඪ කථාන්දරයකි. උදය ගම්මන්පිලව හෝ මොහොමඩ් මුසම්මිල්ව ඒ ලැයිස්තුවට අපට ඇතුළු කළ හැකි ද? ඔවුන් දෙදෙනා බන්ධනාගාර ගත කර ඇත්තේ ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය නිසා ද? උත්තරය සුපැහැදිලිය, යමෙකු දේශපාලනයේ නිරත වූ පමණින් දේශපාලන අදහස් දැරූ පමණින් හොරකම් කිරීමට මුක්තියක් ඔහුට හෝ ඇයට ලැබෙන්නේ නැත. දේශපාලනයේ නිරත වීම යනු සොරකම් කිරීමට ලැබෙන බලපත්‍රයක් නොවේ.
උදය ගම්මන්පිල හා මොහොමඩ් මුසම්මිල් බන්ධනාගාරගත කර ඇත්තේ ඇයි?
2000 අප්‍රේල් මාසයේ දී සිහළ උරුමය දේශපාලන පක්ෂය බිහි වීමත් සමඟ ගම්මන්පිල ද එහි උද්‍යෝගීමත් සාමාජිකයෙක් විය. ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමුත්, ඒ වන විට ඔහුගේ ව්‍යාපාර සෑහෙන දුරට අසාර්ථකව බංකොළොත් වී තිබිණි. 2000 අගෝස්තුවේ පැවැති මහ මැතිවරණය තුළ සිහළ උරුම වේදිකාවේ ඒ හැටි ඉඩක් ගම්මන්පිලට නොවීය. ජාතිකවාදී අදහස් සහිත කථිකයන් හා රටේ නාමධාරී පුද්ගලයන් රැසකගෙන් එම වේදිකාව පිරී තිබිණි. තම කුඩා ජිප් රථයෙන් රට පුරා පැවැති සිහළ උරුමයේ ප්‍රචාරක රැළි නැරැඹීමට වඩා වැඩි දෙයක් එම මැතිවරණයේ දී ගම්මන්පිලගෙන් සිදු වූයේ නැත. නමුත් එම මැතිවරණයෙන් පසු සිහළ උරුමයේ ඇති වූ අභ්‍යන්තරික පිපිරීමත් සමඟ එස්. එල්. ගුණසේකර ඇතුළු ඉහළ මධ්‍යම පාන්තික උගතුන් රැසක් පක්ෂයෙන් ඉවත්වීම පක්ෂය තුළ ඉහළට ඒමට අවස්ථාවක් ගම්මන්පිලට නිර්මාණය කර දුන්නේය. වැඩි කලක් ගත වීමට පෙර සිහළ උරුමයේ නිර්මාතෘ තිලක් කරුණාරත්න ද පක්ෂයෙන් ඉවත් වූ අතර තමන්ව දේශපාලනයට කැඳවූ තම “දේශපාලන ගුරුවරයා” පිටතට යද්දිත් ගම්මන්පිල තවදුරටත් හෙළ උරුමයේ රැඳී සිටියේය. චම්පික රණවක හැරුණු විට මතු විය හැකි එකදු හෝ ගිහි නායකයෙකු ජාතික හෙළ උරුමය තුළ නොමැති බව උදයගේ ගණන් බැලීම විය. ගම්මන්පිලගේ දේශපාලන භාවිතාව පිළිබඳව, ජාතික හෙළ උරුමය සමඟ ඉතා සමීපයෙන් වැඩ කළ දේශපාලන ක්‍රියාකාරීන් තුළ පවා වූයේ ප්‍රසාදයක් නොවේ. මාධ්‍ය ඉදිරියේ කැපී පෙනීමට තිබු උදයගේ ආසාව නිසාම “සිංහල ජාතික ව්‍යාපාරය තුළ සිටින දේශපාලනඥයා” ලෙස ඔහුව බොහෝ දෙනා හඳුන්වන්නට විය. දේශපාලනඥයකු ලෙස ඔහුගේ භූමිකාව එතරම් තක්කඩි එකක් විය. දේශපාලනය පිළිබඳ සංවේදී බොහෝ දෙනෙකු දුටු එම යථාර්ථය තේරුම් ගැනීමට හෙට දේ අද දකිනවා ය කියන චම්පික රණවකලාට පසුගිය ජනාධිපතිවරණය තෙක් බලා සිටීමට සිදු විණි.
උදය ගම්මන්පිල බන්ධනාගාරගත කර ඇත්තේ මීට වසර 19කට පෙර ඔහු සහ ඔහුගේ මිතුරන් පිරිසක් විසින් පවත්වාගෙන ගිය ව්‍යාපාරික ආයතනයක් තුළ සිදු වූ මූල්‍ය අපරාධයක් සම්බන්ධයෙනි. එම ආයතනයේ කොටස්කරුවකු ලෙස කටයුතු කළ ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂෙඩික් නමැත්තා 2015 අගෝස්තු දෙවැනිදා ශ්‍රී ලංකාවට පැමිණ සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත. වසර 19කට පෙර සිදු වුවා යැයි කියන සිදුවීමක් සම්බන්ධව අද ගම්මන්පිලව අත්අඩංගුවට ගෙන ඇති බව කියමින් ඒකාබද්ධ විපක්ෂය යැයි පෙනී සිටින කණ්ඩායම කිඹුල් කඳුළු හෙළන මුත්, සැබැවින්ම ඔවුන් මෙම කාරණය පිළිබඳව ලැජ්ජාවට පත් විය යුතුය. ඒ පසුගිය වසර 10 පුරාවටම මේ රට පාලනය කළේ එම කණ්ඩායමේ නායකයා වන මහින්ද රාජපක්ෂ බැවිනි. හොරකම් වංචාවන්හි නිරත වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කෙසේ වෙතත් දේශපාලන බලය සහිත පුද්ගලයෙකුට අදාළව අඩුම තරමින් ඒ සම්බන්ධව පැමිණිල්ලක් කිරීමේ අයිතියවත්, ඒ යුගයේ නොතිබූ බවට මේ සිදුවීම හොඳ සාක්ෂියකි. ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකස් කර රුපියල් කෝටි 11ක වංචාවක් සිදුකර ඇති බව ගම්මන්පිලට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර, පැහැදිලිවම එය විශාල මූල්‍ය අපරාධයකි. එබැවින් වරදක් සිදුව ඇත්නම් යට ගැසීම වෙනුවට ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සිදුවිය යුතුය. යහපාලනය, පාරදෘශ්‍යභාවය සම්බන්ධයෙන් වගකීමක් ඇති සැබෑ මහජන නියෝජිතයන් කළ යුත්තේ කිඹුල් කඳුළු හෙළීම වෙනුවට ඒ අදාළ පරීක්ෂණ කටයුතුවලට සහාය ලබාදීමය.
විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාගේ ගෝලයා වන නිතර සුදු ඇඳුම් අඳින මොහොමඩ් මුසම්මිල්ට මුහුණ දීමට සිදුව ඇත්තේ ගම්මන්පිලටත් වඩා බරපතළ චෝදනාවකටය. ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනයක් අවභාවිත කරමින් රුපියල් හැටදෙලක්ෂයක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව ඔහුට එල්ල වී තිබේ. පොදු දේපළ ආඥා පනත මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ ද ඔහුට චෝදනා ඉදිරිපත් කර ඇත.
ජවිපෙන් වෙන්ව මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය වීරවංශ ප්‍රමුඛ හිතවතුන්ට ඊට කළගුණ සැලකීමක් ලෙස හිමි වූ එක් වරප්‍රසාදයක් වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වාහනයක් හිමි වීමය. ඒ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ මුසම්මිල්ට ද මෙම ලොතරැයිය ඇදුණි. 2010 අප්‍රේල් මාසයේ පැවැති මැතිවරණයේදී මුසම්මිල් පරාජයට පත්වූ මුත් විමල් වීරවංශ යටතේ තිබූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ ධුරයක් ඔහුට ලැබුණි. එම තනතුර සඳහා නිල වාහනයක් ද හිමි වූ මුත් මුසම්මිල් තමන් පෙර භාවිත කළ මෝටර් රථයම තවදුරටත් ළඟ තබා ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් මුදල් ලබාගෙන ඇති බවට පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී තිබේ. “එලිගන්ට් රෙන්ට අ කාර්” සමාගමෙන් කුලී පදනම මත ලබාගෙන තිබූ එම සුඛෝපභෝගී මෝටර් රථය වෙනුවෙන් 2014 වසර තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් මාසිකව මුදල් ගෙවා ඇති මුත් ඒ සඳහා ගෙවීමට යැයි කියමින් මුසම්මිල් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් ද මුදල් ලබා ගනිමින් මෙම වංචාව සිදු කර ඇත. එසේ ඒ සඳහා මුදල් ගෙවන ලෙස එම මෝටර් රථයේ සැබෑ හිමිකාරියගෙන් ලිපියක් ඉංජිනේරු සංස්ථාවට ඉදිරිපත් කරමින් මුසම්මිල් මෙම වංචාව සිදු කර ඇතිමුත්, ඒ මුදල් සැබැවින්ම බැර වී ඇත්තේ හිටපු මන්ත්‍රීවරයාගේ බිරියගේ ගිණුමට බව පරීක්ෂකයන් තොරතුරු අනාවරණය කරගෙන ඇත. දේශ ප්‍රේමය ගැන පැය විසිහතරෙහිම දොඩවන ජාතික කොඩිය කමිසයෙහි ප්‍රදර්ශනය කරන ඊනියා දේශප්‍රේමිහු දෙදෙනකු ජනතා මුදල් අනුන්ගේ මුදල් තම ලාභ සන්තානය උපරීම කරගැනීමට හොරකම් කර ඇත්තේ ඒ ආකාරයටය. එබඳු තක්කඩින් පිළිබදව නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන පළිගැනීමක් වන්නේ කෙසේදැයි අපට නම් නොවැටහේ.
කෙසේ වෙතත් මෙහිදී තවත් කරුණක් සඳහන් කිරීමට කැමැත්තෙමු. සැබැවින්ම දූෂිතයන්ට එරෙහිව නීතිය කළ යුත්තේ සද්භාවයෙනි. තමන්ට ඇති දේශපාලන හිතවත්කම් මත විශේෂ කොට සැලැකීම එබඳු සංවේදී ක්‍රියාවලියකදී කිසිසේත්ම නොකළ යුතු දෙයකි. දේශපාලනයේදී සැබැවින්ම දුෂ්කර වනුයේ බලය අත්පත් කරගැනීම නොව දිනු බලය රැක ගැනීමය. එහිදී මිතුරු ලීලාවෙන් තමනට සමීප වන මායාකරුවන්ගෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය පරිස්සම් වීම වඩා වැදගත් වනුයේ එබඳු පසුබිමකය. දූෂණයට එරෙහිව ජනාධිපතිවරයාට හා රජයට ඇති කැපවීම මේ වන විට රජයට සම්බන්ධ වී සිටින අපකීර්තිමත් වාර්තාවක් ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක වී සැබැවින්ම පෙන්විය හැකිය. වඩා වැදගත් වන්නේ එයයි. රාජපක්ෂ ක්‍රමය පෝෂණය කළ එබඳු තක්කඩි නිලධාරීන් මෙන්ම දේශපාලනඥයෝ රැසක් ද වත්මන් රජය සමඟ ද පෙළගැසී සිටිති. උදාහරණයක් ලෙස පෙර පැවැති පාලනය තුළ චෝදනාවන් රැසක් එල්ල වූ ආයතනයක් වූයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයයි. ඒ සම්බන්ධව විගණකාධිපතිවරයා විසින් නිකුත් කළ අංක IS/INV/PC/GDE/2015/04 හා 2015 ජුනි 16 නිකුත් කරන ලද විගණන විමසුමේ කරුණු සම්බන්ධයෙන් විගණනයක් සිදු කිරීම වැදගත්ය. එම විගණන විමසුම තුළ වංචාවන් රැසක් ගැන කියැවේ.
විදේශ රැකියා පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් කොළඹ, ගම්පහ සහ හම්බන්තොට පැවැත්වූ බව සඳහන් කරමින් රුපියල් 9119909ක් ගෙවීම, රටවිරු පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් පිංකම් මාලාවකට රුපියල් ලක්ෂ 35ක් ලබා දී කූට ලේඛන පිළියෙල කොට රාජ්‍ය නොවන සංවිධානයනට රුපියල් 1693600ක් ගෙවීම, හාලිඇළ සම්පත් මධ්‍යස්ථානය ඉදිකිරීම් සඳහා වූ මුල් ගල් තැබීමේ උත්සවයට අවිධිමත් ලෙස රුපියල් 9157600ක මුදලක් අවිධිමත් ලෙස ගෙවීම, රටවිරු සංවිධාන බලගැන්වීමේ මුවාවෙන් දේශපාලන රැස්වීම්වල කාර්ය මණ්ඩල වැටුප් හා දීමනා ගෙවීම ආදි අක්‍රමිකතා රැසක් පසුගිය රජය සමයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ සිදුව ඇත. එම විගණන විමසුමේ ඇති විස්තරාත්මක පැහැදිලි කිරීම අනුව මුදල් රෙගුලාසි උල්ලංඝනය කිරිම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය උල්ලංඝනය කිරීම, කූට ලේඛන පිළියෙල කර මුදල් වංචා කිරීම යන ආදි අක්‍රමිකතා පිළිබඳව අල්ලස් පනත පොදු දේපළ ආඥා පනත හා මුදල් විශුද්ධි කිරීමේ පනත යටතේ විමර්ශන සිදුකර වැරැදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීම වැදගත්ය. එදා ඒ කටයුතු බාරව සිටි අදාළ ඇමැතිවරයා රජයට එක්වූයේ යැයි කියා ඒවා කිසිසේත්ම නතර නොකළ යුතු නැත.
මෙය එබඳු එක් සිදුවීමක් පමණක් වන අතර, තවත් එවැනි ඕනෑතරම් උදාහරණ අවශ්‍යනම් පෙන්වා දිය හැකිය. එබැවින් ඒ පිළිබඳව නිසි ප්‍රතිචාර දැක්වීම ජනතාවාදී රජයක යුතුකමය. යහපාලනය යනු එයයි.
චාමර ලක්ෂාන් කුමාර