Wednesday, January 15, 2025

ගැටළු විසදීම සඳහා ආණ්ඩුවට නිසි ප්‍රතිපත්තියක් නෑ

වතු කම්කරු පවුලක් සඳහා රුපියල් 80 බැගින් මසකට තිරිඟු පිටි කිලෝ 15ක් ලබාදීමේ නිල උත්සවය අද තලවකැලේ – මැදකුඹුර වතු යායේදී ආරම්භ කෙරුණා.

ඒ, සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන්.

එහිදී ඔහු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් සදහන් කළේ ඉදිරියේදී භාණ්ඩ සුලභ කොට මිල පාලනය කිරීම සදහා රජය සූදානමින් සිටින බවයි.

කෙසේ වෙතත්, භාණ්ඩ සඳහා පාලන මිලක් නියම කිරීමෙන් වෙළදපොළේ මිල පාලනය කිරීමට නොහැකි බවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක නායකයෙකු වන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් භාණ්ඩ මිල ඉහළයෑම වැළැක්වීමට අපොහොසත් වී ඇති බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

ඒ, ඊයේ (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රජය එක්තරා ආකාරයකට වෙළඳුන්ගේ බලපෑම් වලට ඉඩ දෙමින් ඇති බව නිරීක්ෂණය වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“භාණ්ඩවල මිල අද ගන්න මිල නෙවෙයි හෙට. මේ කඩේ මිල නෙවෙයි අනිත් කඩේ. මොකක්ද මේකෙ තේරුම ? ඉතින් මේකට උත්තරේ තියෙන්නෙ පාලන මිල නෙවෙයි. පාලන මිල දැමීමෙන් මිල පාලනය වෙන්නෙ නෑ. රජය තමන්ගේ වෙළඳපොලවල් ඇතිකරන්න ඕනෙ මේ අවශ්‍ය භාණ්ඩ බෙදීයන ආකාරයට, සාධාරණ මිලකට, ආණ්ඩුව අලාභයක් විඳිමින්. ඉස්සර තිබුණු සමූපකාර ජාලය, මේක පණගන්වන්න බැරි ඇයි ආණ්ඩුවට ? ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නෑ ! සෞභාග්‍යයේ දැක්මේ තියෙනවා සමූපකාර ජාලය නැවත ක්‍රියාත්මක කරනවායි කියලා. නමුත් ආණ්ඩුවට ඇවිල්ලා තියෙනවා වෙළඳුන්ගේ බලපෑම්. ආණ්ඩුව වෙළඳාමට ඇතුළුවෙන්න එන්න එපා කියලා. එන්න ඒ බලපෑමට ආණ්ඩුව එක්තරා විදියකට ඉඩදෙනවායි කියලා මට පේන්න තියෙනවා”

එමෙන්ම, ලෝක වෙළඳපොලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ඉහළ දැමීමෙන් වෙළඳපොලවාදී ආර්ථික ක්‍රමයකට ඉඩ සැලසෙන බැවින් ඊට එකඟ විය නොහැකි බවත් වඩාත් සුදුසු ක්‍රමය වන්නේ සෑම දෙනාටම ලබාගත හැකි ඉන්ධන ප්‍රමාණයට සීමා පැණවීම මගින් ඉල්ලුම පාලනය කිරීම බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles