Friday, September 20, 2024

ගැබිණියකැයි පාසලෙන් ඉවත් කළ සිසුවිය මානව හිමිකම් ලියුම නිසා කබලෙන් ලිපට

පසුගියදා මුළු රටේම කතාබහට ලක්වූ කුසගින්නේ සිටීම හේතුවෙන් වමනය ගොස් පසුව විදුහලේ විනය කමිටුව මගින් ගැබිනියක බව පවසා පාසලෙන් ඉවත් කළ සිසුවියට කොළඹ මානව හිමිකම් කාර්යාලයේ පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම්දීමක් කර තිබේ.

කැකිරාව මඩාටුගම රේවත මහා විද්‍යාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියක කුසගින්නේ සිටීම හේතුවෙන් වමනය ගොස් පසුව විදුහලේ විනය කමිටුව මගින් ඇය ගැබිනියක පවසා පාසලෙන් ඉවත් කළේය. මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් දැරියගේ මවට සහ පියාට ලබන සදුදා (6) දිනයේ කොළඹ මානව හිමිකම් කාර්යාලයේ පෙනී සිටින ලෙස දැනුම් දී  තිබේ.

එදිනෙදා කුලී වැඩක් කර යන්තම් වේල පිරිමසා ගන්නා මොවුන්ට කොළඹ යෑම සඳහා  බස් කුලී වත් හොයා ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බව දැරියගේ මවුපියන් පවසයි.

මෙම දැරිය තවමත් පාසලට ඇතුළත් කරගෙන නොමැති අතර මඩාටුගම රේවත විද්‍යාලයේ ගුරු දෙගුරු සමිති ය පවත්වා මෙම දැරිය පාසලට ඇතුළත් කරගන්නේ නම් ගුරුවරුන් කිහිප දෙනෙකු පාසලෙන් ඉවත්වන බවට දැනුම් දී ඇත.

විවිධ පරීක්ෂණ සඳහා නුරාධපුරය, දඹුල්ල ආදී ප්‍රදේශ පොලිසි වලට ගමන් කිරීම නිසා තමන්ට කුලී වැඩක් කර ගැනීමට හෝ අවස්ථාවක් නොමැති බව දැරියගේ පියා පැවැසීය.
තම දියණිය පාසලෙන් ඉවත් කිරීම සඳහා විදුහල්පතිනියට බලපෑම් කළ ගුරුවරයා පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔහු ඉල්ලීමක් කළේය.

මේ පිළිබඳව අදහස් දැක්වූ දැරියගේ මව කියා සිටියේ‍ෙ
“දැන් වෙලා තියෙන්නේ මගේ දුවට තවමත් ඉස්කෝලේ යන්න  නැති එක. විදුහල්පතිතුමියවත් වෙනත් කවුරුවත් ස්කෝලයක් දෙනවා කියලා අපිට කිව්වේ නෑ. හැබැයි දුවගේ පන්තිභාර මැඩම් ඇවිල්ලා එක දවසක් කිව්වා දුව ඉස්කෝලෙට ගන්නවා කියලා. හැබැයි තවමත් ගත්තේ නෑ.
මම කවදාවත් කොළඹ ගිහිල්ලත් නෑ කොළඹ දැකලත් නෑ කොහොමද අපි  කොළඹ යන්නේ, අඩුම තරමේ කොළඹ යන්ඩ ඕනෙ කොහොමද  කියලවත් අපි දන්නේ නෑ .ඔය කියන මානව හිමිකම් එක තියෙන තැන දන්නෙත් නෑ. පුලුවන්නම් බස් එකෙන් බහින තැනට වත් කවුරුහරි අවොත් අපි එක්ක යන්න ලොකු දෙයක්.” යනුවෙන්ද ඇය කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles