Thursday, January 9, 2025

ගෑස් ගැටලුවේ වගකීම සමාගම් භාර ගෙන ජනතාවගේ බිය සැක නැති කළ යුතුයි – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

ගෑස් පිළිබඳව පැන නැගී ඇති ගැටලුව විසදීමින් ජනතාවට එල්ල වී ඇති පීඩනය නිමා කිරීමට කඩිනම් තීන්දු තීරණ ගැනීමට අතිගරු ජනාධිපතිතුමා අවශ්‍ය පියවර ගෙන ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.


රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ අද (02) ජා – ඇල පැවති උත්සවයකදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිනි.


වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,


“ගෑස් පිළිබඳව ඇති වී තිබෙන ගැටලු පිළිබඳව සොයා බැලීමට එම විෂය සම්බන්ධයෙන් දැනුම ඇති විශේෂඥවරුන් අදාළ පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. අදාළ වාර්තාව කඩිනමින් ලැබෙනු ඇත. 
මෙම ගැටලුව පිළිබඳව ඊයේ දින පාර්ලිමේන්තුවේ පැවති සාකච්ජාවේදී අවධානය යොමු වු කරුණු කිහිපයක් පවතිනවා. දැන් පවතින ගෑස් වල සුවදක් නොදැනෙන නිසා ජනතාවට එය හදුනා ගැනීමට හැකි වන පරිදි සුවඳ ඇතුලත් කරන ලෙස මෙහිදී උපදෙස් ලබා දුන්නා. 


සංයතිය වෙනස් වීම නිසා පීඩනය වැඩි වෙනවා. ඒ නිසා රෙගුලේටරය ඇතුලු උපාංග වලට හානි සිදුවනවා. ඒ පිළිබදව ගතයුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ජා කිහිපයක් පැවැත්වෙනවා. ඒ සම්බන්ධයෙන් ඉක්මනින් තීන්දුවක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. 


මෙම සිදුවීමට ගෑස් සමාගම්හි කළමණාකාරිත්වය වගකිව යුතුයි. යම් වෙනසක් සිදු කළා නම් ඒ වෙනස කුමක්ද කියන්න දන්නේ අදාළ පාර්ශවය. ජනතාව පාවිච්චි කරන ගෑස් ලිප්වල, උපාංග වල ප්‍රශ්නයක් කියලා කියන්න බැහැ. ඉතිහාසයේ ඉදන්ම ජනතාව පාවිච්චි කලේ මේ උපාංග. 


හැබැයි එදාට වඩා අසාමාන්‍ය ලෙස ගිනි ගැනීම් සිදු වෙනවනම් අනිවාර්යෙන් මේ වෙනස් කිරීම තුළ සිදුවූ ප්‍රතිඑලයක් කියන එක තමා පෞද්ගලික මතය. 


මෙම ගෑස් ගැටලුව සඳහා එම ගැස් සමාගම්හි මෙහෙයුම් පද්ධතිය වගකිව යුතුයි. ඒ අය දන්නවා මොකක්ද මේ වුන අඩුපාඩුව කියලා. අපි ඒ අයගෙන් ඉල්ලා සිටින්නේ වෙනස්කම් සිදු කළ ගෑස් ටැංකි වෙළදපොලට මුදා හැරලා තියෙනවම් නැවත ලබා ගන්න කියන ඉල්ලීම සිදු කරනවා.


අලුතින් නිෂ්පාදනය කරන ගෑස් ටැංකි සදහා අලුතින් ස්ටිකරයක් ගහලා වෙළදපොළට නිකුත් කරලා ජනතාවට තියෙන බය නැති කරන්න ඕනේ. රටේ ජනතාව සිටින බයෙන් නිදහස් කිරීමට කටයුතු කළ යුතු වගේම ඒ සඳහා අවශ්‍ය පියවර ආණ්ඩුව විසින් ගන්නවා. අපේ ගෙවල් වල පවා ගෑස් එක භාවිතා කරන්නේ ඉතා පරිස්සමෙන්. රටේ අහිංසක ජනතාවත් මේ නිසා බයෙන් ඉන්නේ. ගෑස් සමාගම් මේ ගැටලුවේ වගකීම අරන් මේක නිවැරදි කරන්න අවශ්‍ය පියවර ගත යුතුයි. නැතිනම් මේ ගිනි ගැනීම් වලට හේතුව මොකක්ද කියලා රටට හෙළි කළ යතුයි. 


ගෑස් සමාගම් කරපු යම් ක්‍රියාවලියක් නිසා රජය අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා කරපු ක්‍රියාවලිය වහා නිවැරදි කරන්න කියලා ඒ අයට පැහැදිලිව කියා සිටිනවා. මේ තාක් ගෑස් සපයද්දි ප්‍රශ්නයක් තිබුනේ නැතිනම්, සභාපති කියනවා සංයුතිය වෙනස් වෙලා තියෙනවා, පීඩනය වැඩි වෙලා තියෙනවා කියලා. එහෙනම් මේක නිවැරදි කරලා ජනතාවගේ බිය සැක නැති කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු යැයි” රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles