Sunday, January 12, 2025

ගෑස් බෙදාහරින ආකාරය පිළිබඳව ගෑස් සමාගමිවලට උපදෙස්

මෙරට ගෘහස්ත ගෑස් බෙදාහැරීම සම්බන්ධයෙන් අදාළ සමාගම් දෙකට උපදෙස් ලබාදෙන්නැයි පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් නිකුත් කර තිබේ.

ඒ අනුව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ අභියාචනාධිකරණය පසුගියදා ලබාදුන් නියෝගයට අනුකූලවම පමණක් ගෑස් සිලින්ඩර බෙදාහැරීම සිදුකරන්නැයි ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් දෙකට සිය අමාත්‍යාංශය මගින් එලෙස උපදෙස් ලබාදී ඇති බවය.

මේ අතර දැනට කෙරවලපිටිය මුහුදේ නැංගුරම් ලා ඇති ලිට්‍රෝ සමාගමට අයත් නෞකා දෙකක ගෑස්වල ප්‍රමිතිය තහවුරු කරගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද ගෑස් සාම්පල ලබාගෙන තිබේ.

මෙරට ගෑස් වෙළෙඳපොළේ සියයට 75ක පමණ අධිකාරියක් හිමි ලිට්‍රෝ ගෑස් සමාගම ආනයනය කළ ගෑස් රැගත් PCG PERIKLIS හා EPIC BALTA නමැති නෞකා දෙකෙහි තොග ප්‍රමිතියෙන් තොර බවට අනාවරණයවීමත් සමග ඒවා ගොඩබෑමේ කටයුතු අත්හිටුවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා පියවර ගෙන තිබුණි.

ඒ, එම ගෑස්වල ගන්ධය වහනය කරන එතිල් මර්කැප්ටන් රසායනිකය දේශීය ප්‍රමිතියට අනුකූල ආකාරයෙන් නොතිබීම හේතුවෙනි.

කෙසේවෙතත් පසුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු තාක්ෂණික කමිටුව PCG PERIKLIS නෞකාවේ  සිදුකළ ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුව ලබාදුන් උපදෙස් අනුව එම රසායනිකය වැඩිකිරීමට පියවර ගත් බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.

නැවේ ගෑස් ගොඩබෑම සඳහා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතාගේ අනුමැතිය හිමිව තිබුණේ ඒ අනුවය.

අවසරය හිමිවූ නෞකාවේ ගෑස් තොග දිවයින පුරා අලෙවි නියෝජිතයින් වෙත බෙදාහැරීමේ කටයුතු අද සිට ආරම්භ කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේය.

ලිට්‍රෝ සමාගම සතියකට පෙර ආනයනය කළ EPIC BALTA නෞකාවත් ඊයේ පැමිණි EPIC BIRD නෞකාවත් කෙරවලපිටිය මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති අතර එම ගෑස් ගොඩබිම වෙත පොම්ප කිරීමට අවසර හිමිවන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි වුවහොත් පමණි.

ඒ අනුව ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් එම නෞකාවල ගෑස් සාම්පල අද ලබාගත් අතර අනුමැතිය ලබාදෙන්නේද නැද්ද යන්න පිළිබඳ වාර්තා ලැබීමට නියමිතව ඇතැයි ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

කෙසේවෙතත් ගෑස් නෞකාවල ඇතිවූ මෙම ප්‍රමාදය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පාරිභෝගිකයින් අසීරුතාවට පත්වී සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles