Saturday, December 28, 2024

ගෑස් හිඟය තව සති තුනක් – ලිට්‍රෝ සභාපති කියයි

ගෑස් හිඟය හේතුවෙන් දැනට රට තුල ඇතිව තිබෙන තත්ත්වය මත ජනතාවට පෙර පරිදි ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට තවත් සති තුනක පමණ උපරිම කාලයක් පැවැතිය හැකි යයි ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය.

අලුතින් හඳුන්වාදුන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් ගතවීම නිසාත් යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් රටට ආනයනය කිරීමට කටයුතු යොදා ඇති නිසාත් යම්කිසි ප්‍රමාදයක් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා මෙසේ පැවසීය.

“ලිට්‍රෝ සමාගම වශයෙන් අපි 100% ක්ම ප්‍රමිතිකරණයෙන් යුත් ගෑස් නිෂ්පාදනය කරනවා. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ නෑ, අපේ ප්‍රමිතිය පොඩ්ඩක්වත් අඩු කරන්න. මේ ක්‍රියාවලියට මට යම් කාලයක් ලබාදෙන්න.”

“ඒ කාලය තුළ මට පුළුවන් සහතික වෙන්න, ඔබේ නිවසටම ප්‍රමිතියෙන් යුතු ගෑස් සිලින්ඩරයක් ලබා දෙන්න.”

“ගෑස් සිලින්ඩර 40,000ක් පමණ මේ වනවිට දිනකට නිකුත් කරනවා. මේ ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙනවා. ඒ සිලින්ඩර ප්‍රමාණය වැඩිවීමත් සමග ජනතාවට පෝලිමේ ඉන්න වෙන කාලය අඩුවෙයි. උපරිම වුනොත් තව සති 3ක් මේ තත්ත්වය පවතින්න පුලුවන්.”

මීට පෙර වසරක කාලය තුළදී දිනකට ගෑස් වෑල් 300 ක් පමණ මාරු කර ඇති බවත් වර්තමානයේ දිනකට  වෑල් 3000 ක් පමණ මාරු කරන බවත්  වෑල් මාරු කිරීමේ ධාරිතාව 20,000 දක්වා වැඩි කිරීමට මේ වනවිට කටයුතු කරගෙන යන බවත් ඔහු පැවසීය .

ගෑස් සිලින්ඩර් 180000ක් පමණ ඉදිරි දින කිහිපයේදී වෙළඳපොළට නිකුත් කරන බවත් ඔහු සදහන් කරයි.

සමාගමේ නව නිෂ්පාදන ක්‍රියාවලිය මගින් 100%ක්ම ප්‍රමිතිකරණයෙන් යුත් ගෑස් නිපදවන බවත් එනිසා යම් කාලයක් වැඩිපුර ගතවන බවත් ඒ මහතා කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles