Tuesday, December 24, 2024

ගුරු පුරප්පාඩු 25000 ක් පමණ වුවත් පුරවන්න මුදල් නෑ – අගමැතිතුමා

ශ්‍රීලංකාවේ හොඳ නිදහස් අධ්‍යාපනයක් ලැබූ තමන්ගේ අදහස වන්නේ ආදායම් වැඩි කර අධ්‍යාපනය දියුණු කරමු යන්න බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කිරිබත්ගොඩ විහාර මහාදේවී විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගනය සිසු අයිතියට පැවරීම නිමිත්තෙන් අද (24) වන දින එම විද්‍යාලයේ පැවැති උත්සවයේ දී ඒ මහතා මේ බව පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

කිරිබත්ගොඩ විහාර මහාදේවී බාලිකා විද්‍යාලයේ මෙවැනි පහසුකම් ඇති ගෘහස්ථ ක්‍රීඩාංගනයක් තිබෙනවා කියා කලින් දැන සිටියා නම් මේ උත්සවයට පාන්දරම පැමිණ ව්‍යායාමයේ නියැලීමෙන් අනතුරුව ක්‍රීඩාගාරය විවෘත කිරීමට තිබුණා. විහාර මහාදේවී බාලිකා විද්‍යාලය වැඩි දියුණු කිරීම සඳහා හිටපු විදුහල්පතිනියන් විශාල කාර්යභාරයක් ඉටු කළා. මෙම පාසලේ පළමු විදුහල්පතිනියට අද මේ උත්සවයට සහභාගි වී සිටිනවා.

මෙම පාසල ආරම්භ කර මාස දෙක තුනකින් මන්ත්‍රීවරයෙකු වශයෙන් මා මේ ප්‍රදේශයෙන් තේරී පත් වුණා. සිරිල් මැතිව් මැතිතුමා කැළණියේ මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත් වුණා. මේ ප්‍රදේශයේ පළමු බාලිකා විදුහල ලෙස තිබුණේ කඩවත මහාමයා විද්‍යාලය පමණයි. කිරිබත්ගොඩ ප්‍රදේශය දියුණුවට පත් වන විට මේ ප්‍රදේශයට ද බාලිකා විදුහලක අවශ්‍යතාව ඇති වුණා. මා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි අවස්ථාවේ දී සිරිල් මැතිව් මහතා නිතර පැමිණ මහාමායා විදුහල පමණ ද දියුණු කරන්නේ, විහාර මහාදේවී විද්‍යාලය දියුණු කරන්නේ නැතිදැයි මගෙන් විමසා සිටියා. මා එතුමාට ප්‍රකාශ කළේ කිසිම ප්‍රශ්නයක් නැහැ. විද්‍යාල දෙකම දියුණු කිරීමට පියවර ගමු කියායි. එවිට තවත් බාලිකා විද්‍යාලයක අවශ්‍යතාවය මතු වුණා. ඒ අනුව දිවංගත සුරනිමල රාජපක්‍ෂ මහතා සපුගස්කන්ද ප්‍රදේශයේ විශාඛා බාලිකා විද්‍යාලය ආරම්භ කළා. අනතුරුව මේ පාසල් හැදින්වූයේ කැළණියේ බාලිකාවන් තිදෙනා ලෙසයි.

අද හොඳ විද්‍යාලයක් මේ ප්‍රදේශයට ලැබී තිබෙනවා. මේ පාසල් තුන පමණක් මේ ප්‍රදේශයට ප්‍රමාණවත් වන්නේ නැහැ. මෙගාපොලිස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවාත් සමග වැඩි වන ජනගහණයට සාපේක්‍ෂව තවත් පාසල් ගණනාවක් අවශ්‍ය වනවා. ඒ සඳහා වූ සැලසුම් දැනටමත් ආරම්භ කර තිබෙනවා. විදුහල්පතිනිය මා හට පැවසුවේ එක් පන්ති කාමරයක ශිෂ්‍යාවන් 50 ක් සිටින බවයි. නමුත් පන්ති කාමරයක සිටිය යුත්තේ 30 ක් හෝ 35 ක් පමණයි.

මෙවනි ප්‍රශ්න මධ්‍යයේ විහාර මහාදේවී විද්‍යාලය දියුණු වීම සතුටට පත් වන අතර තවත් පැත්තකින් මා කණගාටු වනවා. විහාර මහාදේවී විද්‍යාලය දියුණු වුවත් විද්‍යාල ගණනාවක් දියුණුවට පත්වී නැහැ. මෙයින් පෙන්නුම් කරන්නේ අපේ අධ්‍යාපනයේ පිරිහීමක් තිබෙන බවයි. අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් වෙන් කිරීමට යුද්ධය පැවැති කාලයේ නොහැකි වුණා මෙන්ම යුද්ධයෙන් පසුව ද අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල අඩු වුණා. 2014 වසරේ පාසල් අධ්‍යාපනයට හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා වෙන් කළේ දළ දේශීය නිෂ්පාදනයෙන් 1.6% ක් පමණයි. මෙවැනි අඩුපාඩුකම් මැද විහාර මහාදේවී බාලිකා විද්‍යාල දියුණුවට පත්වීම ගැන ආදි ශිෂ්‍ය සංගමයට මෙන්ම දෙමව්පියන්ට මගේ ප්‍රශංසාව පළ කරනවා.

පාසලක් දියුණු කිරීමට නම් දෙමව්පියන්ගේ, ආදි ශිෂ්‍ය සංගමයේ, ගුරු භවතුන්ගේ සහ ප්‍රදේශයේ ආධාර උපකාර අවශ්‍ය වනවා. විදුහල්පතිතුමියටත්, ගෘහස්ථ ක්‍රීඩාංගනය තුළ රඟ දැක්වූ ශිෂ්‍යාවන්ටත් මා ප්‍රශංසා කරනවා. මෙම පාසලේ වැඩ කටයුතු තව තවත් දියුණු වේවායි මම ප්‍රාර්ථනා කරනවා.

අද අපට තිබෙන විශාල ප්‍රශ්නයක් වන්නේ රටේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීමයි. පසුගිය ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් අප පැහැදිලි ප්‍රකාශයක් රටට ලබා දුන්නා. එනම් අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් වෙන් කළ 1.9% ක ප්‍රමාණය 6% දක්වා වැඩි කිරීමයි. අප ඒ වැඩ කටයුතු ආරම්භ කළා. 2015 වසරේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කළේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක් පමණයි. මේ වසරේ 2.8% දක්වා වියදම් කිරීමට අවකාශ ලැබෙනවා. 6% ක ඉලක්කය කරා යාමට තවත් 3.2% ක් අවශ්‍ය වනවා.

රටේ හොඳ අධ්‍යාපන තත්ත්වයක් ඇති කිරීම සඳහා අලූතෙන් ගුරුවරුන් පුහුණු කළ යුතුයි. දැනට ගුරු පුරප්පාඩු 25,000 ක් පමණ තිබෙන බවට අධ්‍යාපන අමාත්‍යවරයා මා හට පැවසුවා. මේ පුරප්පාඩු සපුරාලීමට ප්‍රමාණවත් මුදල් ඇත්තේ නැහැ. කල් ගත වන විට මේ පුරප්පාඩු සංඛ්‍යාව තව තවත් ඉහළ යනවා. මේ තත්ත්වයට ඉඩ නොදී ගුරුවරුන් පුහුණු කිරීමට හා පුරප්පාඩු පිරවීමට පියවර ගත යුතුයි.

උසස් පෙළ සමත්වූවන් මූලික පුහුණුවක් ලබාදී ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් දියත් කළ යුතුයි. අද විද්‍යා හා ගණිත ගුරුවරුන්ගේ හිඟයක් තිබෙනවා. එම නිසා උසස් පෙළ විද්‍යා හා ගණිත විෂය මාලාවන් හැදැරීමේ පහසුකම් පාසල් කිහිපයකට සීමා වී තිබෙනවා. මේ තත්ත්වය වෙනස් කොට අලූත් ක්‍රමවේද හඳුන්වාදීමට සැලසුම් කර තිබෙනවා. උසස් පෙළ විද්‍යා හා ගණිත සුදුසුකම් තිබෙන 2000 ක් අධ්‍යාපන අමාත්‍යාංශයට බඳවා ගෙන ඔවුන් පුහුණු කර උපාධිධාරීන් බවට පත් කිරීමට අවශ්‍ය මුදල් වෙන් කිරීමට පියවර ගෙන තිබෙනවා. උපාධිය ලබා විද්‍යා හා ගණිත ගුරුවරු ලෙස පාසල්වලට පැමිණීම සඳහා ආයතන කිහිපයක් හදුනාගෙන තිබෙනවා. මේ සියලූ කටයුතු සාර්ථකව සිදු කිරීමට නම් මුදල් අවශ්‍ය වනවා. මේ කටයුතු ඉටු කරමින් අප ඉදිරියට යා යුතුයි.

තවත් වසර දෙකකින් පමණ සාමාන්‍ය පෙළ විභාගය සමත් අසමත් විභාගයක් ලෙස පැවැත්වීමට ඉවත් කොට සෑම කෙනාටම උසස් අධ්‍යාපනය ලබාදීමට පියවර ගන්නවා. එමගින් විභාග බර ඉවත් කිරීමට කටයුතු කරනවා. එහිදී ළමුන් ලක්ෂ 4 , 5 ක් පමණ පාසල්වලට වැඩි වන අතර ඒ සඳහා ප්‍රමාණවත් ගුරුවරුන් ද ලබාදිය යුතුයි. පළමු ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 75,000 ක් පමණ වසරකට පාසල්වලින් පිට වනවා. එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද රඳවාගත හොත් තවත් සිසුන් ලක්‍ෂ 7-8 ක් පමණ සිටිනවා. එම නිසා තවත් ගුරුවරුන් සහ ගොඩනැගිලි අවශ්‍ය වනවා. මේ සෑම දෙයක් සඳහා මුදල් අවශ්‍ය වනවා. අද අපට තිබෙන විශාලම ප්‍රශ්නය වී තිබෙන්නේ එයයි.

ශ්‍රේණි නොමැති විදුහල්පතිවරුන් 7000 , 8000 ක් පමණ සිටින අතර මේ වසරේ දී ඔවුන්ගෙන් 3500 ක් පමණ විභාග පවත්වා බඳවා ගෙන පුහුණු කළා. තවත් විදුහල්පතිවරුන් පුහුණු කිරීමට තිබෙනවා. ඒ වගේම උප විදුහල්පතිවරුන්, ගුරුවරුන් පුහුණු කළ යුතුව තිබෙනවා. ගුරුවරුන්ට තමන් දන්නා විෂයන්හි දැනුම අලූත් කර ගැනීම සඳහා වසර 3 කට වරක් දින දෙකක් ලබාදීමට මා කැමැත්තෙන් පසු වනවා.

මා ඊයේ දින මාගේ විද්‍යාලය වන කොළඹ රාජකීය විද්‍යාලයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වුණා. එම විද්‍යාලයට එඩෙක්ස් අධ්‍යාපන ක්‍රමයක් ලැබී තිබෙන බව මට එහිදී දැනගන්නට ලැබුණා. එය ලැබුණේ එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් නිසයි. රාජකීය විද්‍යාලයට උදව් උපකාර කිරීම සඳහා එවැනි ආදි ශිෂ්‍යයන් සිටින අතර තවත් අනෙකුත් පාසල් සඳහා උදව් උපකාර කිරීමට ආදි ශිෂ්‍යයන් හෝ දෙමව්පියන් සිටිනවා. නමුත් පාසල් වැඩි ප්‍රමාණයකට එවැනි සම්පත් ලබා ගැනීමට නොහැකි අතර ආදි ශිෂ්‍යයන් ද ඇත්තේ නැහැ.

මෙම අඩුපාඩු පවතින බැවින් මේවා ඉවත් කරන්නද? නැතිනම් ජාත්‍යන්තර පාසල්වලට බාර දෙනවාද? ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා පුහුණුව ලැබූ ගුරුවරුන්ට විශාල මුදලක් ගෙවිය යුතුව තිබෙනවා. අපේ සාමාන්‍ය ගුරුවරුන්ට ගෙවන මුදලට ඔවුන් සේවය ලබාදීමට සූදානම් නැහැ. අවම වශයෙන් ඔවුන් පැමිණෙන්නේ එංගලන්තයේ ගුරුවරයෙකුට ගෙවන මුදලකටයි. ඒ අනුව අධ්‍යාපනය දියුණු කිරීම සඳහා විශාල මුදලක් අවශ්‍ය වනවා.

ව්‍යවස්ථානුකූලව පාසල් මණ්ඩල ඇති කිරීමට අප බලාපොරොත්තු වනවා. අප මේ වැඩ කටයුතු සිදු කරන්නේ ශ්‍රී ලංකාවට හොඳ අධ්‍යාපන ක්‍රමයක් ලබාදීම සඳහායි. විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල පිළිබඳව මා කතා කළේ නැහැ. ලබන සතියේ දී මා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මුණ ගැසීමට නියමිතයි.

කෙසේ වෙතත් අධ්‍යාපනය සඳහා අපට වියදම් කිරීමට තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් 2.8% ක් පමණයි. අවාසනාවකට සමස්ත රජයේ ආදායම වන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් 10% ක් පමණයි. ආසියාවේ අනෙකුත් රටවල රජයේ ආදායම 14% – 18% ත් අතර ප්‍රමාණයක් වනවා. 2004 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම 14% ක් පමණ වුණා. බදු සහන ලබා දී සිදු කළ වෙනත් වැඩ කටයුතු හේතුවෙන් රජයේ ආදායම 10% දක්වා අඩු වී තිබෙනවා.

අධ්‍යාපනය සඳහා තවත් 3.2% ක් වෙන් කරනවා නම් එය 10% ක් වූ රාජ්‍ය ආදායමෙන් අඩු කළ යුතුයි. එවිට අනෙක් අංශවලට මුදල් වෙන් කළ නොහැකි වනවා. ඒ සඳහා වෙන් කරන මුදල් අඩු කළ නොහැකියි. අධ්‍යාපනය ඉතා වැදගත් නිසා ඒ සඳහා මුදල් වෙන් කිරීම නතර කළ නොහැකියි.

පසුගිය වසර කිහිපයේ දී ආණ්ඩුව සිදු කළේ ණය පිට ණය ගැනීම පමණයි. දැන් එම ණය ගෙවීමට ද අපට සිදුවී තිබෙනවා. අප මේ විදියට ගියොත් සිදු වන්නේ ණය ගෙවීම සඳහා අඩු අධ්‍යාපනයක් ලබා දී පාසලෙන් පිට කිරීමටයි. විශාලම ප්‍රශ්නය තිබෙන්නේ එතැනයි. අලූත් අධ්‍යාපන ක්‍රමයක් මේ රටට ලබාදීමට මමත්, ජනාධිපතිතුමත් සාකච්ඡා කර අප සියලූ දෙනා තීරණය කළා.

අධ්‍යාපන තාක්‍ෂණය විටින් විට වෙනස් වෙනවා. අද සමහර අවස්ථාවල දී වුවමනා තොරතුරු ලබා ගන්නේ ජංගම දුරකථනය, ඒනන එකෙන් හා ෆේස්බුක් හරහායි. අපේ කාලයේ නොසිතූ ක්‍රමවේද අද වන විට භාවිතා වනවා. සමහර විට මෙම ක්‍රමවේද අධ්‍යාපනය සඳහා යොදා ගන්නවා. වීඩියෝ කොන්ෆරන්ස් තාක්‍ෂණය විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා භාවිතා කරන අතර ඉදිරියේ දී පාසල් සඳහා ද භාවිතා කළ හැකියි.

දැනට පවතින පුස්තකාල ප්‍රශ්න විසඳීම සඳහා විද්‍යුත් පුස්තකාල ක්‍රමය හඳුන්වාදීමට මා කොරියාව සමග සාකච්ඡා කරනවා. එවිට ජංගම දුරකථනයෙන් තමන්ට අවශ්‍ය පොත්පත් කියවීමට හැකි වනවා.

මේ සඳහා වියදම් කිරීමට අවශ්‍ය වන මුදල් සොයා ගන්නේ කෙසේද? තව තවත් ණය ගන්නවා ද, නැතිනම් නව ක්‍රම සොයා ගෙන ඉදිරියට යනවාද යන්න සිතන්නට තිබෙනවා. අනෙක් පැත්තෙන් ආර්ථිකය දියුණු කිරීමට ද පියවර ගත යුතුව තිබෙනවා. එක් පැත්තකින් ආර්ථිකය දියුණු වන විට ආදායම් මාර්ග වැඩි වෙනවා. සංවර්ධන වේගය 5.5% සිට 8% දක්වා ගෙන යා යුතුයි. අනෙක් පැත්තෙන් අපේ ණය බර අඩු කළ යුතුයි. චීනයෙන් ලබාගත් වාණිජ ණය, රටේ ජනතාවට බරක් නොදී නැවත ගෙවීම සඳහා වූ ක්‍රමවේද පිළිබඳව චීනය සමග සාකච්ඡා කරමින් සිටිනවා. ජපානය සහනාධාර ක්‍රමයට අපට ණය ලබා දී තිබෙනවා.

පසුගිය අවුරුදු කිහිපය තුළ දී ජීවන වියදම පිළිබඳව විශාල අර්බුද ඇතිවුණා. ජීවන බර තව තවත් වැඩි කිරීමට පියවර ගෙන තිබුණා. එම නිසා ජීවන බරින් ජනතාව මුදවා ගැනීම සඳහා අලූතින් ධනවතුන්ගේ බද්දක් ගැන සිතුවා. කොටස් විකුණුවායින් පසු ලාභයෙන් 10% ක් ලබා ගෙන අධ්‍යාපනයට සහ සෞඛ්‍ය සඳහා වෙන් කිරීමට තීරණය කර තිබෙනවා. පර්චස් 3 , 4 විකුණන අයට මෙය බලපාන්නේ නැහැ. අවුරුදු 15 කට පසු මෙම බද්ද ක්‍රියාත්මක කෙරෙනවා.

තවත් පැත්තකින් ජනතාවගේ ජීවන බර අඩු කිරීමට අප පියවර ගත්තා. ඒ අනුව රජයේ සහ පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළා. විශ්‍රාමිකයින්ට අප්‍රේල් මාසයේ සිට රුපියල් 1000 ක් වැඩි කිරීම, වැවිලි ක්ෂේත්‍රයේ නියුතු ජනතාවගේ වැටුප ද වැඩි කළා. ගෑස් රුපියල් 300 කින්, කිරිපිටි රුපියල් 61 කින්, පාන් පිටි රුපියල් 12.50 කින්, සීනි රුපියල් 10 කින්, මුං ඇට රුපියල් 40 කින්, හාල් මැස්සන් රුපියල් 15 කින්, සස්ටජන් රුපියල් 100 කින්, ටින් මාළු රුපියල් 60 කින්, උම්බලකඩ රුපියල් 200 කින්, මිරිස් රුපියල් 25 කින්, පෙට්‍රල් මිල රුපියල් 33 කින්, ඩීසල් රුපියල් 16 කින් සහ භඣමි තෙල් රුපියල් 16 කින් අඩු කළා.

මෙම සහන ලබා නොදී පසුගිය ආණ්ඩුව කළා මෙන් ඒවාහි මිල වැඩි කළ යුතුද? මමත්, ජනාධිපතිතුමාත්, මුදල් ඇමැතිතුමාත් කිසි විටෙක එසේ කිරීමට කැමති වූයේ නැහැ. ජනතාවගේ සහන ජනතාවට ලබාදිය යුතුයි. එම සහන කප්පාදු කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකියි. පෙට්‍රල් හා භූමි තෙල් මිල වැඩි කරන විට සෑම ක්ෂේත්‍රයකම මිල ඉහළ යනවා. මේ ක්‍රමයට නොගොස් ආදායම් සොයා ගන්නේ කෙසේද යන්න සිතා බැලිය යුතුයි. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා 4% කින් වැට් බද්ද වැඩි කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා යෝජනා කළේ ඒ අනුවයි. ජනතාවට සහන ලබා දී අධ්‍යාපනය හා සෞඛ්‍යය ක්ෂේත්‍රය සඳහා මුදල් වෙන් කිරීමට අවම වශයෙන් වසර දෙකක් මේ ආකාරයට මුදල් සොයා ගත යුතුයි. ආර්ථිකය දියුණු වන විට සෑම අංශයක්ම දියුණු වේවි. මේ සඳහා අමාරු තීරණයක් ගැනීමට සිදු වෙනවා. රජයේ ආදායම වැඩි වන විට අධ්‍යාපනය වැඩි දියුණු වනවා. රජයේ ආදායම අඩු වුණොත් අධ්‍යාපනය පිරිහෙනවා.

මෙම විකල්ප දෙකෙන් ගත යුතු විකල්පය කුමක්ද? ශ්‍රී ලංකාවේ හොඳ නිදහස් අධ්‍යාපනයක් ලැබූ මා පවසන්නේ ආදායම් වැඩි කර අධ්‍යාපනය දියුණු කරමු යන්නයි. එවිට සැමන් ටින් එකක වගේ පන්ති කාමරය පුරවන්නේ නැතිව පන්ති කාමරයකට සිසුන් 30 කට හෝ 35 කට සීමා කළ හැකියි. අප බද්දක් පැනවූයේ මෙම පසුබිම ඇති කිරීමටයි. වැට් බද්ද වැඩි කළේ ඇයි දැයි අද සමහරු ප්‍රශ්න කරනවා. මෙයින් ජීවන වියදම වැඩි වනනේ නැහැ. අපි පොඩි බද්දක් ගෙවන්නේ අපේ දරුවන්ගේ අනාගතය සඳහායි. එනම් අප මෙසේ කැප කරන්නේ අධ්‍යාපනය වෙනුවෙනුයි. අපේ දරුවන්ගේ හොඳ අනාගතය වෙනුවෙනුයි.

මෙම ප්‍රදේශයේ පාසල්වල සුළු ප්‍රශ්න තිබෙනවා. හැතැප්ම 10 ක් අභ්‍යන්තරයට යන විට වැඩි වශයෙන් අඩුපාඩුකම් තිබෙන පාසල් තිබෙනවා. හැතැප්ම 100 ක් අභ්‍යන්තරයට යන විට පාසලක ගුරුවරයෙක් හෝ දෙන්නෙක් සිටින පාසල් තිබෙනවා. දැනට ලැබෙන වාර්තා අනුව තමන්ට හොඳ ගුරුවරුන් ලබාදෙන්න කියා අවම වශයෙන් සතියකට පාසල් 6-7 ක දෙමව්පියන් උද්ඝෝෂණය කරනවා. අප මේවාට විසදුම් සෙවිය යුතුයි. ඩෙන්මාර්ක්, ස්වීඩන් වැනි රටවල මෙන් ආදායම වැඩි කර මුදල් උපයා ගෙන අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතුයි. එසේ නොකළොත් ජනතාව අපට දොස් පවරනු ඇති. මේ සියලූ ව්‍යායාමයන්ගෙන් අප බලාපොරොත්තු වන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දී ඔවුන්ට හොඳ අනාගතයක් උදා කිරීමටයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles