Friday, September 20, 2024

ගුවන් පාලමකුත් එක්ක එන වරකාපොළ අලුත් පාර ඉක්මන් කරන්න ජොනීගෙන් උපදෙස්

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ හා අඹේපුස්ස නගර අතර පවතින දැඩි රථ වාහන තදබදය අවම කර ජනතාවට අපහසුතාවයකින් තොරව ගමනාගමනය පහසු කිරීම සඳහා ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ වරකාපොළ අතුරු මාර්ගයේ වැඩ කඩිනමින් අවසන් කරන ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්තුමා සහ ව්‍යාපෘති අධ්‍යක්ෂතුමාට තමන් උපදෙස් ලබා දුන් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයට සමාන්තරව ඊට දකුණු පසින් ඉදිකරන මෙම වරකාපොළ අතුරු මාර්ගය වෙනුවෙන් ඉඩම් අත්පත් කර ගැනීම් මේ වන විට අවසන් බවත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු වන්දි මුදල් වලින් 98 % ක ප්‍රමාණයක් මේ වන විට ගෙවා අවසන් බවත් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.

වරකාපොල නගරය මගහැර යාමට වෙනත් විකල්ප මාර්ග කිසිවක් නොමැති බැවින් වරකාපොල සහ අඹේපුස්ස නගර අතර කොළඹ මහනුවර මාර්ගයේ පවතින දැඩි වාහන තදබදය අවම කිරීම සඳහා දිග මීටර් 2,350 කින් සහ මීටර් 22.80 ක පළලින් යුතුව මෙම මාර්ගය ඉදි කරනු ලබයි. මෙම මාර්ගයේ ඇති විශේෂත්වය නම් මීටර් 550ක දිගින් යුතු ගුවන් පාලමත් මෙම මාර්ගය හරහා ඉදි කිරීමයි. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල රු.මිලියන 4,111.16 කි.

කොළඹ මහනුවර මාර්ගයේ වරකාපොළ හා අඹේපුස්ස නගර අතර පවතින දැඩි වාහන තදබදය අවම කර රටේ අනෙකුත් පළාත්වලට ගමනාගමනය පහසු කිරීමත් වරකාපොළ නගරයේ සංවර්ධනයට අතහිත දීමත් මෙම අතුරු මාර්ග ව්‍යාපෘතියේ අරමුණ බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles