Friday, January 24, 2025

ගුවන් සමාගම් 35ක ගුවන් මෙහෙයුම් යළි අරඹන්න කැමැත්ත පළ වී තිබෙනවා – ඇමැති ප්‍රසන්න රණතුංග

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ ගුවන් තොටුපොළ යළි විවෘත කිරීමත් සමඟ අන්තර්ජාතික ගුවන් සමාගම් 35ක ගුවන් මෙහෙයුම් යළි ආරම්භ කිරීමට කැමැත්ත පළකර ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (21) පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේ කොළඹ දී ඊයේ (21) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. සංචාරකයන්ට රට විවෘත කිරීම නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා මේ විශේෂ මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ ,දෛනිකව ගුවන් මෙහෙයුම් 80ක් පමණ සංඛ්‍යාවක් කටුනායක ගුවන්තොටුපොළ තුළ සිදුකළ බවත් ලෝකයේම ක්‍රියාත්මක නව සාමාන්‍යකරන වැඩපිළිවෙළ යටතේ එවැනි තත්ත්වයකට පැමිණීමට යම්කිසි කාලයක් ගතවනු ඇති බවත්ය. නමුත් ක්‍රම ක්‍රමයෙන් එය සිදුවේවි යැයි හෙතෙම විශ්වාසය පළ කෙළේය.

රජයේ ඉලක්කය කොවිඩ් 19 වසංගතය රට තුළ පැතිරීමට පෙර තිබූ තත්ත්වයටත් වඩා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම බව පෙන්වාදුන් ඇමැතිවරයා සංචාරකයන්ට රට විවෘත කිරීමත් සමඟ ඊයේ (21) දිනයේ දී වාණිජ ගුවන් ගමන් 15ක් පමණ සිදුව තිබෙන බවද ජාතික යුතුකමක් සහ වගකීමක් සේ සළකා මාස 10 ක් පමණ සංචාරකයන්ට වසා දමා තිබූ රට නැවත විවෘත කිරීමට පියවර ගත් බවද පැවසීය.

මේ අවස්ථාව සඳහා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles