බැසිල් රාජපක්ෂට හෝ මේ ආණ්ඩුවට තවදුරටත් රට කර වීමේ හැකියාවක් නැති අතර දැන් ජනතාව විසින් අලුත් බලවේගයක් ඇතිකර ගත යුතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පවසනවා.
රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් සිය ඇමැතිකමෙන් සහ ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තීරණය ගනු ලැබුවේ 2020 ඔක්තෝබර් මාසයේදී බවත් ඒ මහතා සදහන් කරයි.
ජන්දය දුන් 69 ලක්ෂයට පමණක් නොව ජාත්‍යන්තරයට පවා දුන් පොරොන්දු සියල්ල ආණ්ඩුව විසින් කඩ කර තිබෙන අතර ඉටු කරන ලද එක පොරොන්දුවක් හෝ ඇත්නම් ඒ ගැන පවසන ලෙසයි මන්ත්‍රීවරයා කියා සිටියේ.මේ වන විට ජනාධිපතිවරයා රූකඩයක් බවත් එම රූකඩය නටවන කොරා බැසිල් රාජපක්ෂ බවත් මහින්ද රාජපක්ෂ දැන් පතෝල ගානට වැටී ඇති බවත් ඔහු සඳහන් කළා.
විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ 20 වන සංශෝධනය සම්මත කරගැනීම සදහා මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහාය ගත්තේ විමල් සහ උදය ආණ්ඩුවෙන් ඉවත් කරන බවට වූ පොරොන්දුව මත බවයි.
මේ අතර එදා තමන්ද 20 වෙනි සංශෝධනයට අත එසවීම ගැන කම්පා වී සිටින අතර ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විශ්වාසය තැබීමේ පාප කර්මය දැන් ගෙවමින් සිටින බවද මන්ත්‍රී විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියා.