Monday, January 13, 2025

ගෝලීය ව්‍යවසනයකට මුහුණ දී ඇති මොහොතක රට ගොඩනගන්න පක්ෂ විපක්ෂ සියලුදෙනා එකතුවෙන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

ගෝලීය වශයෙන් ව්‍යසනයකට මුහුණ දී ඇති මොහොතක රට ගොඩනැගීමට එකතුවීමට සියලුදෙනාටම ජාතික වගකීමක් ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව රට මුහුණ දී සිටින අභියෝගය ජයගැනීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත දීත් ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලු දෙනා එක්වන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

සිය පාලන කාලය තුළ මානව හිමිකම් කඩ කිරීමට ඉඩ නොදුන් බවත් ඉදිරියටත් ඉඩ නොදෙන බවත් තමන් මානව හිමිකම් කඩ කිරීම අනුමත නොකරන බවද ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාව නිරතුරුවම ජාත්‍යන්තර නීතිවලට සහ සම්මුතීන්ට ගරු කරන රටකි. තම පාලන කාලය තුළ ද කිසිඳු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල නොදුන් බව ද ජනාධිපතිතුමා පැවසීය.

පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව එකිනෙකාට එරෙහිව උසිගන්වන දේශපාලනඥයන් දැන්වත් එය නතර කළ යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (18) පෙරවරුවේ ආරම්භ කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් විසින් පිළිගනු ලැබිණ.

සාම්ප්‍රදායිකව සිදු කෙරෙන කටයුතු වලට පමණක් ප්‍රමුඛතාවය දෙමින් පාර්ලිමේන්තු නව සැසි වාරය ආරම්භ කෙරුණු අතර ආචාර පෙළපාලි, රථ වාහන හෝ අශ්වාරෝහක සංදර්ශන කිසිවක් ඊට ඇතුළත් නොවීය.ප්‍රධාන දොරටුව අභියස දී නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවෝ ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිතුමා පිළිගත්හ.

වසර 05 ක් තුළ නිශ්චිත වැඩ කොටසක් ඉටුකිරීමට ජනතාවට පොරොන්දු වුවද ගෝලීය වසංගතය හේතුවෙන් විවිධ බාධාවන්ට මුහුණ දීමට සිදු විය. එහෙත් රජයේ මූලික වගකීම් ඉටු කිරීමට කිසිවිටෙකත් අමතක නොකළ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.කෙතරම් ආර්ථික දුෂ්කරතා මතු වුවද ජනතාවගේ සෞඛ්‍යය ප්‍රමුඛතාව සේ සලකා අවශ්‍ය සියලු පිරිවැය දැරීමට රජය කටයුතු කළ බව ද ජනාධිපතිතුමා සිහිපත් කරනු ලැබීය.

මත්ද්‍රව්‍ය උවදුර මුලුමනින් තුරන් කිරීමට ආරම්භ කළ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාවට නංවන බව පැවසූ ජනාධිපතිතුමා රටේ බරපතළ ලෙස ව්‍යාප්තව තිබූ පාතාලය මර්ධනයට පසුගිය වසර දෙක තුළ රජය ක්‍රියා කළ බව ද කියා සිටියේය.

ජාතිවාදය තමන් ප්‍රතික්ෂේප කරන බවත් වත්මන් රජයට අවශ්‍ය මේ රටේ සෑම පුරවැසියෙකුගේම ගෞරවය හා අයිතිවාසිකම් එකසේ ආරක්ෂා කිරීම බවත් පැවසූ ජනාධිපතිතුමා සංහිදියාව සහ රජයේ මූලික වගකීම ලෙස සලකන්නේ කිසිඳු වෙනස්කමින් තොරව සියලු ජනතාවට පහසුකම් සැපයීම බව ද සඳහන් කළේය.

විවිධ දේශපාලන මතවාදයන් තාවකාලිකව පසෙකලා තම ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය වන ලෙස පාර්ලිමේන්තුව තුළ සිටින උතුරු නැගෙනහිර නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලීය.වැරදි අර්ථකථන ලබාදෙමින් විදේශ ආයෝජනවලට එරෙහිව ජනතාව තුළ වැරදි මතයක් ඇති කිරීමට දේශපාලන අරමුණු මුල් කරගෙන යමෙක් කටයුතු කරනවානම් එය රටට කරන අයහපතකි. රටේ සංවර්ධනය සඳහා නව ආයෝජනවල අවශ්‍යතාව මේ මොහොතේ තදින්ම පැන නැගී තිබේ. තෝරගත් ක්ෂේත්‍රවල නව ආයෝජන ආකර්ශණය කර ගැනිමට ඉදිරි කාලයේ දී වැඩි පරිශ්‍රමයක් දැරිය යුතු බව ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කරනු ලැබීය.

රාජ්‍ය විශ්වවිද්‍යාල ධාරිතාව වැඩි කිරීමට රජය පියවර ගෙන ඇති අතර ඉහළ ප්‍රමිතියෙන් යුත් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල රට තුළ ආරම්භ කිරීම සඳහා අවසර දිය යුතු ද යන්න කෙරෙහි පුළුල් සංවාදයකට තමා පාර්ලිමේන්තුවට ආරාධනා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.මේ රට අයිති වර්තමානයේ ජීවත්වන මෙන්ම අනාගතයේ ජිවත්වන ජනතාවටයි. අප මේ රටේ වර්තමාන භාරකරුවන් පමණයි. අද අප කටයුතු කරන ආකාරය මත මේ රටේ අනාගතය තීරණය වන බව පැවසූ ජනාධිපතිතුමා අප සියලු දෙනා අනාගත පරම්පරාවට වගකිව යුතු වන බව අවධාරණය කළේය

2022 වසරේ ආහාර සුරක්ෂිතාව වෙනුවෙන් කටයුතු කළ යුතු වසරක් බවද වගා කළ හැකි සෑම ඉඩමක්ම වගා කිරීමට යොදා ගත යුතු බවද ජනපතිවරයා පැවැසීය.

ඒ සඳහා බිත්ති පිංතාරු කළ තරුණයින්ට හා පුරන් කුඹුරු අස්වද්දපු තරුණයින් ආරාධනා කරන බවත් ජනපතිවරයා පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“මේ උත්තරීතර සභාව නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂවලට අයත් නියෝජිතයින් අතර, විවිධ දේශපාලන පක්ෂ අතර විවිධ දේශපාලන මතිමතාන්තර තිබෙනවා. ප්‍රතිපත්තිමය වෙනස්කම් තිබෙනවා. නමුත් අපි සියලුදෙනාම අවසාන වශයෙන් ප්‍රාර්ථනය කරන්නේ, රටේ යහපතයි. ගෝලීය ව්‍යවසනයකින් පීඩාවට පත් වී තිබෙන මේ දුෂ්කර අවස්ථාවේ දී රට ගොඩනගන්නට එකට එකතු වී කටයුතු කරන්නට මහජන නියෝජිතයින් ලෙස අප සියලුදෙනාට ම ජාතික වගකීමක් තිබෙනවා. එම වගකීම ඉටුකිරීම සඳහා අප සමග එක්ව කටයුතු කරන ලෙස මම මේ අවස්ථාවේ දී ඔබ සියලුදෙනාටම ආරාධනා කරනවා. කෙටි කාලීන ගැටලුවලට සාර්ථකව මුහුණදෙන අතරම අපේ මුලික වගකීම වන්නේ, අප විසින් රටේ ජනතාවට ඉදිරිපත් කරන ලද බහුතර ජනතාවක් විසින් අනුමත කරන ලද දීර්ඝ කාලින සංවර්ධන වැඩපිළිවෙල නොනැවතී ක්‍රියාත්මක කිරීමයි.”

ජනාධිපතිවරයා විසින් සිදුකළ රාජාසන කතාවෙි මුලික කරුණු කිහිපයක් පහතින් දැක්වේ.

  • ජාතික ආරක්ෂාව සුරක්ෂිත කර තිබෙනවා
  • වයස අවුරුදු 16ට වැඩි 85%කට එන්නත මාත්‍රා දෙකම ලබා දී අවසන්.
  • පොලිස් නිලධාරින්ගේ ආකල්ප වර්ධනයට හා පුහුණු වැඩසටහන් සඳහා කටයුතු යොදා තිබෙනවා.
  • යුද්ධයෙන් විනාශ වු උතුරු හා නැගෙනහිර ජන ජීවිත නඟාසිටුවීමට ආයෝජන රැසක් කර තිබෙනවා.
  • පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව උසිගැන්වීම නැවැත්විය යුතුයි.
  • ජාත්‍යන්තර ප්‍රජාවගේ නිරීක්ෂණවලට ධනාත්මක ප්‍රතිචාර දැක්වීමට සුදානම්.
  • දරුවන්ට හොඳ අධ්‍යපනයක් මෙන්ම ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට කටයුතු කළා
  • ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා විනිවිදභාවය ශක්තිමත් කිරීම අවශ්‍යයි.
  • නීතියේ ප්‍රමාදයට විසඳුම් ලබාදී විශ්වාසදායි ලෙස අධිකරණ කටයුතු සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා
  • අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීමට කටයුතු කර තිබෙනවා.
  • අඩු ආදායම්ලාභි ජනතාවට අධිකරණ කටයුතු සිදුකරගැනීම සඳහා පහසුකම් සපයා තිබෙනවා.
  • ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික කෙටුම්පතක් සකස් නිරීම සඳහා කටයුතු කර තිබෙනවා.
  • දිවයිනේ සියලුම නිවාසවලට විදුලිය සහ ජලය සැපයීමේ කටයුතු සැලසුම් කළ පරිදි සිදුවෙමින් පවතිනවා.
  • 2025 වන විට කොළඹ වරාය ලොව කාර්යය බහුලම වරායන් අතරට එක්කරනවා.
  • ජනතාවගේ ආර්ථික තත්ත්වය පිළිබඳ ආණ්ඩුව සංවේදී නිසාම ගොවි ජනතාවට නොමිලේ පොහොර පවා ලබා දුන්නා.
  • හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ.
  • එතනෝල් ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීම නිසා උක් ගොවියාන්ට හොඳ මිලක් ලැබෙනවා.
  • කොළඹට සීමා වු ණය සහනදායක මණ්ඩල වෙනත් දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත කර තිබෙනවා.

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ රාජාසන කතාව ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles