Thursday, September 19, 2024

“චීන කුණු පොහොර“ වන්දියට සඳහා සෑම පුරවැසියෙකුටම රුපියල් 62ක් ගෙවන්න වෙලා!

චීනයෙන් මෙරටට එවන ලද ව්‍යාධි ජනක අඩංගු කාබනික පොහොර වෙනුවෙන් ශ්‍රි ලංකාව චීන සමාගම වෙත ගෙවීමට එකඟතාව පළ කර ඇති වන්දි මුදලට අනුව මෙරට සෑම පුද්ගලයකුම රුපියල් 62ක මුදලක් ආසන්න වශයෙන් චීනයට ගෙවිය යුතුව ඇත.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය යටතේ ඇති කොමර්ෂල් පොහොර සමාගම විසින් මහජන බැංකුව හරහා විවෘත කරන ලද ණයවර ලිපියේ කොන්දේසි ප්‍රකාර ව මෙලෙස මහජන මුදලින් මෙම වන්දිය ගෙවීමට සිදුව තිබේ.

සාමාන්‍යයෙන් පස් දෙනකුගෙන් යුතු පවුලකට මෙම ප්‍රතික්ෂේපිත පොහොර නැව වෙනුවෙන් රුපියල් 310ක මුදලක්වත් ගෙවන්නට මේ අනුව සිදුව තිබේ.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්දු රාජපක්ෂ ට අනුව රජය චීන පොහොර සමාගමට සහ මේ සඳහා අදාළ මැදිහත්වීම් සිදු කළ ශ්‍රි ලංකාවේ චීන තානපති කාර්යාලයට එකඟ වී ඇත්තේ ඩොලඒ මිලියන 6.7ක වන්දියක් මේ වෙනුවෙන් ගෙවීමය.

එම මුදල ශ්‍රී ලංකාවේ වර්තමාන නිල ඩොලර් අනුපාතයට අනුව රුපියල් මිලියන 1360කි. ශ්‍රි ලංකාවේ ජනගහණය මිලියන 22ක් ලෙස සැලකුවහොත් එක් පුද්ගලයකු රුපියල් 61.82ක් වේ.

ශ්‍රී ලංකාව මෙම සමාගමෙන් පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් පමණ ඇණවුම් කර ඇති බව සඳහන් වු අතර එයින් ටොන් 20,000කට ආසන්න ප්‍රමාණයක් නැව්ගත කරන ලද්දේ එහි පූර්ව සාම්පල මෙරට ජාතික පැළෑටි නිරෝධායන සේවය විසින් ව්‍යාධිජනක බැවින් ප්‍රතික්ෂේප කරන බවට දන්වා ඇති පසුබිමකය.

නිසි ආනයන බලපත්‍රයකින්ද තොරව මෙරටට බලහත්කාරයෙන් මෙන් ගෙනා මෙම ප්‍රතික්ෂේපික පොහොර තොගය මෙරටට ගොඩ බෑමට චීන පොහොර සමාගමත් චීන තානාපති කාර්යාලයත් දැඩි පරිශ්‍රමයක් ගත් අතර ඒ සඳහා මෙරට දේශපාලකයන්ද වක්‍ර බලපෑම් සිදු කළේය.

මෙම ගනුදෙනුවේ ගෙවීම් වාරණයට ලක් කරමින් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මහජන බැංකුවට එරෙහිව වාරණ නියෝගක්ද ගත් අතර මේ තත්ත්වය මත චීනය මහජන බැංකු අසාධු ලේඛනගත කිරීමටද පියවර ගත්තේය.

කෙසේ වුවද මහජන බැංකු බලධාරීන්ද පොහොර සමාගම අදාළ චීන පොහොර සමාගම සමඟ එකඟතාව පළ කර ඇති ගිවිසුමට අනුව මෙම මුදල ගෙවීමට සිදුවනු අති බව සඳහන් කළ අතර පසුව චීන පොහොර නිෂ්පාදකයා වන ක්වින්ඩාවෝ සීවින් බයොටෙක් සමාගම මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක්ද ඉල්ලා සිටියේය.

අවසානයේ දෙපාර්ශ්වයේ එකඟතාවන් මත මෙම පොහාර නැව හේතුවෙන් සිදුවූ හානියට වන්දි ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත.

Lankasara – ලංකාසර

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles