ඡන්දය පවත්වන්න සල්ලි නෑ! නිල වශෙයන් කියයි…!!!

0
291

පවතින ආර්ථික දුෂ්කරතා යටතේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මුදල් ලබාදීම අසීරු බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා නෙත් නිවුස් වෙත පැවසුවේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා සිදුකළ සාකච්ඡාවේදි මේබව දැනුම් දුන් බවයි. 

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් එහිදි පෙන්වා දී ඇත්තේ ඉකුත්දා නිකුත් කෙරුණු චක්‍රලේඛයක් හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් වෙන් කිරීමට හැකියාව පවතින බවයි. එසේ වුවද මැතිවරණ කටයුතු එම චක්‍රලේඛය යටතේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර නොමැති බව එම නිලධාරීන් මැතිවරණ කොමිසමට දැනුම්දී තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් නොවන ආයතන වෙත මුදල් නිකුත් කිරීමට නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලබාගත යුතු බවයි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ. 

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලබන 22, 23, 24 සහ 28 යන දිනවල පැවැත්වීමට තිබූ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම එම දිනවල සිදු නොකරන බව මැතිවරණ කොමිසම අද නිල වශයෙන් දැනුම් දුන්නා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ නැවත තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දිනය පසුව දැනුම් දෙන බවයි. 

සැලසුම් කළ පරිදි තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදාළ පත්‍රිකා නියමිත දිනවල ලබා දීමට රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දී නොමැති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here