Saturday, September 21, 2024

ජනපතිගේ තායිලන්ත සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්

ආර්ථික සහ වෙළෙඳ ප්‍රතිලාභ රැසක් රටට දිනාදෙමින් සිය සිව්දින තායිලන්ත නිල සංචාරය සාර්ථකව නිමා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 10 රාත්‍රියේ යළි දිවයිනට පැමිණියේය.

ආසියානු සහ‍යෝගිතා සංවාද රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා පසුගිය 07 වනදා දිවයිනෙන් පිටත්ව ගිය අතර සමුළුවට සමගාමීව තායිලන්ත අගමැතිවරයා සමඟ මෙන්ම ඉරාන ජනාධිපතිවරයා සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට ආර්ථික සහ වෙළෙඳ ප්‍රතිලාභ රැසක් අත්කරදීමට සමත් විය.

ශ්‍රී ලංකාව සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා සෑම අතින්ම ශක්තිමත් කර ගන්නා බවට තායිලන්ත අගමැතිවරයා එහිදී ජනාධිපතිතුමා හමුවේ සහතික වූ අතර ශ්‍රී ලංකාව සමඟ පවතින වෙළෙඳ සහ ආර්ථික සහයෝගීතාවය තවත් ඉහළ නැංවීමට ඉරාන ජනාධිපති ආචාර්ය හසන් රෝහානී මහතා ජනාධිපතිතුමා වෙත එකඟතාවය පළ කළේය.

ආසියානු සහයෝගීතා රාජ්‍ය නායක සමුළුව අමතමින් ආසියානු කලාපය තුළ විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රයේ පෙරගමන්කරු වීමට ශ්‍රී ලංකාව සූදානම් බවට ජනාධිපතිතුමා කරන ලද ප්‍රකාශය ද සමුළුවට සහභාගී වූ සියලු රාජ්‍ය නායකයින්ගේ විශේෂ අවධානයට ලක් විය.

ඉතා කෙටි කලක් තුළ ශ්‍රී ලංකා නව රජය ගමන් කරමින් සිටින නිවැරැදි දිශානතිය පිළිබඳ එහිදී රාජ්‍ය නායකයින් තම සතුට හා ප්‍රශංසාව ජනාධිපතිතුමා වෙත පළ කළේය.

දෙවන ආසියානු සහයෝගීතා රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උත්සවය තායිල්ත අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් 09 වනදා රාත්‍රියේ බැංකොක් නුවරදී පැවැත්වුණු අතර එහි විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූ ජනාධිපතිතුමා‍ට පැමිණ සිටි රාජ්‍ය නායකයන්ගෙන් සහ නියෝජිතයින්ගෙන් හිමිවූයේ ඉහළ පිළිගැනීමකි.

මේ අතර තායිලන්ත අගමැතිවරයා විසින් ජනාධිපතිවරයා වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් 08 වනදා රාත්‍රියේ බැංකොක් නුවරදී පැවැත්වුණු අතර දෙරටේ සමීප සබඳතාවය සහ මිත්‍රත්වය සංකේතවත් වන අයුරින් එය සංවිධානය කර තිබෙනු දක්නට ලැබිණි.

මේ අතර තම සංචාරය තුළදී තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි ඓතිහාසික එමරල්ඩ් බුද්ධා විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ද අමතක නොකළ ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස ඓතිහාසික ග්‍රෑන්ඩ් පැලස් රජ මාලිගය නැරඹීමට ද එක් වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles