Sunday, September 22, 2024

ජනපතිගේ දේශපාලන ජීවිතය මාහට පරමාදර්ශයක්

බ්‍රික්ස් – බිම්ස්ටෙක් සමගාමී සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දියාවේ ගෝවා නගරයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සමුළුවට එක්ව සිටින රාජ්‍ය නායකයන් අතර ද්විපාර්ශවික සාකච්ඡා කිහිපයක් ඊයේ (16) පැවැත්විණි.

පළමුව ජනාධිපතිතුමා හමුවූයේ නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහල් මහතායි.

නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහාය කෘතවේදීව සිහිපත් කළ නේපාල අග්‍රාමාත්‍යවරයා, ලුම්බිණියේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද ශ්‍රී ලංකා රජයට සිය ස්තුතිය පළකළේය.

මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත තම පෞද්ගලික ප්‍රසාදය පළ කළ නේපාල අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ජීවිතය තමාට පරමාදර්ශයක් බවයි.

සාර්ක් රාජ්‍ය නායක සමුළුව ඉක්මනින් පැවැත්වීමට ලැබෙනු ඇතැයි මෙහිදී සිය විශ්වාසය පළකළ ජනාධිපතිවරයා සියලු සාර්ක් රටවල් එක්ව ඒ වෙනුවෙන් කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය.

ඉන් අනතුරුව භූතාන අග්‍රාමාත්‍ය ශරීන් ටෝබ්ගේ මැතිතුමා සහ ජනාධිපතිවරයා අතර නිල හමුව සිදුවිය.

ශ්‍රී ලංකාව සහ භූතානය අතර මිත්‍රත්වයේ පදනම බෞද්ධ දර්ශනය බව සඳහන් කළ භූතාන අග්‍රාමාත්‍යවරයා භුතානයේ බෞද්ධ අධ්‍යාපනය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහාය අපේක්ෂා කරන බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා‍ ජනාධිපතිවරයා විසින් භූතානය වෙත පරිත්‍යාග කරන ලද බෝධි අංකුරය රෝපණය කිරීමේ උත්සවයට සහභාගිවීමට භූතානයට පැමිණෙන ලෙස භූතාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී ජනාධිපතිතුමා වෙත ආරාධනා කළ අතර ලබන වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උළෙලට සහභාගී වන ලෙස ජනාධිපතිවරයා භූතාන අග්‍රාමාත්‍යවරයා වෙත ඇරයුම් කළේය.

මේ අතර බ්‍රික්ස් – බිම්ස්ටෙක් සමගාමී සමුළුවට සහභාගී වී සිටින රාජ්‍ය නායකයන් වෙනුවෙන් ගෝවා ප්‍රාන්තයේ මහ ඇමැති මහතා විසින් පිරිනමන ලද විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ඊයේ (16) දහවල් ගෝවා නගරයේ Leela හෝටලයේ දී පැවැත්වුණු අතර එහි විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ජනාධිපතිවරයා එක්විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles