කරුවලගස්වැව නෙළුම්ගම ගම්මානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ‘‘ගම සමග පිළිසඳරක්’’ වැඩසටහනේදී එම ප‍්‍රදේශයේ මාර්ගයක් වසර ගණනාවකින් ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු වී නැති බව සඳහන් කරමින් ගැටලූ ඉදිරිපත් කළ පුද්ගලයකුට පහරදුන් කරුවගස්වැව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට විරෝධය දක්වමින් ප‍්‍රදේශයේ ජනතාව කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභාව ඉදිරිපිටදී ඊයේ (01) දින විරෝධතාවයක් පැවැත්විණි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ කරුවලගස්වැව විජයපුර පදිංචි විශ‍්‍රාමික යුධ හමුදා සැරයන් මේජ්ර්වරයකු වන ඞී. ජයරත්න නැමති අයකු වේ.
කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභාවේ සභාපති නිමල් ජයසිරි බංඩාර මහතා මෙම පහරදීම සිදු කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම පහරදීම පසුගිය(26) දින කරුවලස්වැව 7 කනුව තබ්බෝව මංසන්දියේදී සිදුව ඇති බව පහර කෑමට ලක්වූ ජයරත්න මහතා කරුවලගස්වැව පොලිසියට පැමිණිලි කර තිබේ.
එසේ සභාපතිවරයා තමන්ට පහරදීම සිදුකළේ පසුගිය 20 දින ජනාධිපතිවරයාට එම ප‍්‍රදේශයේ වීරපුර මාර්ගය වසර 50 කින් ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු වී නැති බව පවසමින් ඉදිරිපත් කළ ගැටළුවට උරණවීම නිසා බව ජයරත්න මහතා පැවසීය.
එම පහරදීමට විරෝධය දක්වමින් පහර කෑමට ලක්වූ ජයරත්න මහතා හා ගම්මානයේ පිරිසක් කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභාව ඉදිරිපිටදී සභාපතිවරයාගේ ක‍්‍රියා කලාපය හෙළා දකිමින් විරෝධතාවය පැවැත්වූහ.
අදාළ චෝදනාවට ලක්වූ ප‍්‍රාදේශීය සභාපති නිමල් ජයසිරි බංඩාර මහතා කරුවලගස්වැව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරිය බව පොලිසිය පවසයි.
අදාළ පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා කරුවලගස්වැව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇත්තේ පහර දීම සම්බන්ධ පැමිණිල්ල කරුවලගස්වැව සමථ මණ්ඩලයට යොමු කරමින් බව සඳහන් වේ.
එමෙන්ම සභාපතිවරයාද තමන්ට ජයරත්න නැමති අය පහර දුන් බවට පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් කර ඇත. කරුවලගස්වැව පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුජීව අලවත්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වයි.