Thursday, January 9, 2025

ජනපති කිසිවිටෙක හොරුන් ආරක්ෂා නොකරන බව, අපි දන්නවා

මහජනතාවගේ මුදල් සොරකම් කළ කිසිදු පුද්ගලයෙක් ආරක්ෂා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවශ්‍යතාවක් නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

ඒ අනුව පසුගිය රජයේ මෙන්ම මේ රජයේත් මුදල් වංචා චෝදනා එල්ල වී තිබෙන සියලු දෙනාට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නට රජය කටයුතු කරන බවද ඇමැතිවරයා පවසයි.

පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳව ඇතැම් අය විවිධ චෝදනා එල්ල කළද . එතුමාගේ කතාවේ දී, මහජනතාවගේ මුදල් හොරකම් කළ කිසිදු පුද්ගලයෙක් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවක් ජනපති ප්‍රකාශ නොකළ බව යැයිද ඇමැතිවරයා අවධාරණය කරයි.

‘එතුමා කිව්වේ හොරුන් ඇල්ලිය යුතුයි. ඔවුන්ට දඬුවම් කළ යුතුයි කියායි.මහජන මුදල් දේපොළ හොරකම් කරපු හෝ හොරකම් කරන කිසිම පුද්ගලයෙක් අපි ආරක්ෂා කරන්නේ නැහැ. අපි ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. සමහර අය කියනවා වත්මන් රජය හොරු ආරක්ෂා කරන්න උත්සාහ කරනවා කියලා. අපි කිසිසේත්ම හොරුන් ආරක්ෂා නොකරණ බව මම ප්‍රකාශ කරනවා.

මහජනතාවගේ මුදල් හොරකම් කළ පසුගිය රජයේ පුද්ගලයන් හෝ වත්මන් රජයේ එහෙම චෝදනා එල්ල වී තිබෙන අයට හෝ කිසිදු ආකාරයක සමාවක් ලැබෙන්නේ නෑ. පුද්ගලයා තරා තිරම නොබලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ නිසා ජනපති කිසිවිටෙක හොරුන් ආරක්ෂා නොකරන බව, අපි දන්නවා.

රණවිරුවන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ කටයුතු කළ ආකාරය පිළිබඳව ගැටලුවක් තිබෙනවා. රණවිරුවන් කියන්නේ රට වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ පිරිසක්. ඔවුන් අතරින් යම් අයෙකුට මිනීමැරුම් චෝදනා හෝ වෙනත් චෝදනා එල්ල වී තිබෙනවනම්, ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු නීතිමය පදනමක් තිබෙනවා. එසේ නොමැතිව කිසිදු හේතුවක් නැතිව රණවිරුවන්ට හිරිහැර කරනවනම්, අපි ඒක අනුමත කරන්නේ නෑ.

පසුගිය දිනවල ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමන් යැයි කියමින් විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියෙක් සිය දිවි හානි කර ගත්තා. මේ සම්බන්ධයෙන්ම තවත් පුද්ගලයෙක් චෝදනා ලබලා දැන් රිමාන්ඩ් බන්ධනාගාර ගත වී සිටිනවා. වරද කළේ කවුද කියන එක අපි දන්නේ නෑ. නමුත්, මේ අතරේ කවුරුහරි අහිංසකයෙක් ඉන්න බව පෙනෙනවා. ඒ නිසා මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අපක්ෂපාතී විය යුතුයි. කරුණු හරි හැටි සොයා බලා කටයුතු කළ යුතුයි.එහෙම නොකළොත් අපි රණවිරුවන්ට විශාල අසාධාරණයක් කළා වෙනවා. මොකද අපේ රණවිරුවන් රට වෙනුවෙන් විශාල මෙහෙවරක් කරපු අයයි. ‘යැයිද ඒ මහතා කියයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles