ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි මේ වනවිට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී රට විවේචනයට ලක්ව සිටින අවස්ථාවක ජගත් රාජ්‍ය නායක මහා මණ්ඩල රැස්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වීම සඳහා පිටත්වීම මේ මොහොතේ ඉතා වැදගත් කටයුත්තක් බව කැබිනට් සම ප්‍රකාශක ඩලස් අලහපෙරුම මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාගේ නිව්යෝර්ක් සංචාරය සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාලි සංචාරය දිගු කලකින් පසු සිදු කෙරෙන පළමු විදෙස් සංචාර දෙක බවයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරය (UNGA76) අද(14) ආරම්භ වේ. ජනාධිපතිවරයා ලබන 17 වැනිදා එම සංචාරයට සහභාගි වේ.
ගෝලීය වසංගතයක් පැවතියද මෙවර රාජ්‍ය නායකයන් සහභාගි වන ජගත් මහ මණ්ඩල රැස්වීමට ලොව බොහෝ රටවල නායකයන් සහභාගි වීම විශේෂත්වයකි.
මහා මණ්ඩල සැසියේ විවාදයේ පළමු දිනය 2021 සැප්තැම්බර් 21 අඟහරුවාදා ය.
පසුගිය වකවානුව තුළ මෙන්ම ඉදිරියටත් රජය බොහෝ විදේශීය සංචාරයන් සඳහා සහභාගී වීම නවතා පවතින තාක්ෂණය භාවිතා කරමින් සම්බන්ධ වූ නමුත් අත්‍යවශ්‍ය විදේශ සංචාර පමණක් සිදු කරන ලද බව අමාත්‍යවරයා පැවසීය.
රටේ පවතින වාතාවරණය මධ්‍යයේ වුවද විදේශ සංවිධාන ඇරයුමකින් සිදුවූ අගමැතිවරයාගේ ඉතාලි සංචාරය සහ ජනාධිපතිවරයාගේ එළඹෙන එක්සත් ජාතීන්ගේ සංචාරය වැදගත් බව ඔහු අවධාරණය කළේ “මේ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා කුඩා නියෝජිතයින් කණ්ඩායමක් සමඟ යාම රටට අවාසිදායක නොවනු ඇත” යනුවෙන් සඳහන් කරමිනි.