ජනවාරි 18 පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කරනු ලබන රාජාසන කතාවට දින තුනක විවාදයක් අවශ්‍ය බවට විපක්ෂය ගෙන ආ යෝජනාව ආණ්ඩු පක්ෂයේ දැඩි විරෝධය මත සංශෝධනය කර ඇති බව වාර්තා වෙයි.
අද (11) කතානායකගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී දින තුනක විවාදය ප්‍රතිකේෂ්ප කළ ආණ්ඩු පාර්ශ්වය දින දෙකකට පමණක් එකඟවී ඇත.
ඒ අනුව ජනවාරි 19-20 යන දෙදින ජනාධිපතිතුමාගේ රාජාසන කතාවට පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීමට නියමිතය.
ඒ අනුව 9 වන පාර්ලිමේන්තුවේ 2 වන සැසිවාරය ආරම්භ වන 2022.01.18 අඟහරුවාදා ඉදිරිපත් කෙරෙන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ, සභාව කල් තැබීමේ විවාදයක් 2022.01.19 බදාදා සහ 20 බ්‍රහස්පතින්දා යන දින දෙකේදී පැවැත්වීමට ඊයේ (2022.01.11) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
එම සභාව කල් තැබීමේ යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ඇත.
එමෙන්ම 2022.01.20 දින පනත් කෙටුම්පත් 4ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද සභානායකවරයා පැවසීය. එනම්, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතට සිදු කරන සංශෝධනය, පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත, 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතට සංශෝධන සහ සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන, ඒ අතර වන බවද ඔහු සඳහන් කළේය.
අභවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පිළිබඳ ශෝක යෝජනාව, 2022.01.21 වන සිකුරාදා ඉදිරිපත් කිරීමට නියමිතය.