Friday, November 1, 2024

ජනාධිපතිවරයා විසින් තමන්ව දේශපාලන අභියෝගයක් ලෙස පිළිගැනීම පිළිබඳව සතුටු වෙනවා – පාඨලී

ජනාධිපතිවරයා විසින් තමන්ව දේශපාලන අභියෝගයක් ලෙස පිළිගැනීම පිළිබඳව තමන් සතුටු වන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධුරය සඳහා අභිනවයෙන් පත් වූ අතිපූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර නාහිමියන් බැහැදැකීම සඳහා අද උදෑසන කඩුවෙල, හේවාගම අභිනවාරාම විහාරය වෙත ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මන්ත්‍රීවරයා,

“ආණ්ඩුව උත්සාහ කරන්නේ වැඩ කරන ජනතාවගේ අර්ථසාධක වැනි ඉතුරුම් වලින් තවත් ධනයක් කොල්ලකාගන්නයි. දැනට EPF, ETF අරමුදල මහ බැංකුව විසින් පාලනය වෙමින් තියෙන්නේ. මහ බැංකුව සතුව පාලනය නොවෙන තවත් ආයතන ගණනාවක EPF, ETF අරමුදල්, විශ්‍රාම වැටුප් අරමුදල් තියෙනවා, මේවායේ අතිවිශාල ධනස්කන්ධයක් තියෙනවා. මේ ධනස්කන්ධය තමයි සාමාන්‍යයෙන් භාවිතා කළේ දිගටම අඩු පොලී අනුපාතයන් පවත්වාගෙන යන්න. ඒ නිසා මේ රටේ වැඩකරන ජනතාව විසිහය ලක්ෂයකට පමණ තමන්ට ලැබිය යුතු EPF, ETF ප්‍රතිලාභ ලැබුණේ නැහැ. දැන් ඒකේ ලාභයෙනුත් මෙහෙම බද්දක් ගහන්න යනවා කියන්නේ, මේක සම්පූර්ණ වැඩ කරන ජනතාවට ලැබෙන්න තියෙන ධනය කොල්ලකෑමක්.”
මේ බද්ද මගින් සාමාන්‍යයෙන් රු. බිලියන 75-100 අතර ප්‍රමාණයක් එකතු කරගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බව ද හිටපු අමාත්‍යවරයා අනාවරණය කළේය.

ප්‍රශ්නය :
මේක එච්චර අසාධාරණයක් නම් ජනතාවට මේක සම්බන්ධයෙන් මේක පරාජයට පත් කරන්න ඔබතුමාලා සූදානම්ද?

පිළිතුර :
අපි අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ මේකට විරුද්ධ වෙනවා. නමුත් ඕනදේකට අත උස්සන කට්ටියකුත් ඉන්නවා. අපි විශ්වාස කරනවා මේ රටේ වැඩ කරන ජනතාව තමන්ගේ අයිතිය වෙනුවෙන් නැගී සිටියි කියලා.

ප්‍රශ්නය :
රජයට විරෝධයක් තියෙනවනම් ඊයෙ සල්ගාදු ක්‍රීඩාංගනයට එතරම් සෙනග ආවෙ ඇයි?

පිළිතුර :
තාමත් 20% ක් විතර ආණ්ඩුව සමග ඉන්න ජනතාව ධනය, බලය භාවිතා කරලා, කන්න, බොන්න දීලා අරන් යන්න පුළුවන්. ඒ වගේ දේවල් පෙන්නන්න පුළුවන්. තමන්ට ඔය තරම් මහා ලොකු ජන බලයක් තියෙනවා නම්, තැන් තැන් වල ගිහිල්ලා, කෑමොර දෙන එක නෙමෙයි කරන්න ඕනේ. විවෘත ජනමත විචාරණයක් තියන්න ජනාධිපතිතුමාගේ පහුගිය අවුරුදු දෙකක කාලය හරිද? වැරදිද? කියලා එතකොට රටේ ජනතාව පිළිතුරු දෙයි.

ප්‍රශ්නය :
ඊයේ ජනාධිපතිවරයා කියනවා මේ අවුරුදු 15 ක් තිස්සේ ඇමතිකම් දරපු සමහරු කිසිම දෙයක් කරපු දෙයක් නැහැ කියලා. කවුරු ගැනද මේ කියන්නේ?

පිළිතුර :
අපිව එල්ල කරලා කිව්වා වෙන්න පුළුවන්. අපි ඒ ගැන සතුටුයි. මොකද අපව දේශපාලන අභියෝගයක් හැටියට පිළිගැනීම ගැන. ඇත්ත එතුමා කියපු එක. වෙන ඇමතිවරු රාජපක්ෂ පවුලේ අය වගේ අපි විදේශවල අපේ දේපළ පවත්වාගෙන යාම, රටේ ජාතික ධනය කොල්ල කෑම වගේ වැඩ අපි කරලා නෑ. නමුත් අපි කරපු වැඩ මේ රටේ හැම තැනකම තියෙනවා. පරිසර, විදුලිබල, නාගරික සංවර්ධන අමාත්‍යාංශවල අපි කරපු හැම රාජ්‍ය ආයතනයකම අපි ලාභ උපයලා තියෙනවා. පාඩුවට ගිය ඒවා ලාභ කරලා තියෙනවා. එතුමට මම කියනවා අද විදුලි අර්බුදය ගැන අපෙන් ඉගෙන ගන්න. 2015 අපි ලංකා විදුලිබල මණ්ඩලයේ කෝටි 2000ක් ලාභ කළා. පුළුවන් නම් කරලා පෙන්නන්න. ඊළඟට තෙල් සංස්ථාවේ අපි පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල අඩු කළා රුපියල් කෝටි 6700 කින්. පුළුවන් නම් කරලා පෙන්නන්න.

බොරු නඩු පටලවන්නේ නැතිව, කුමන්ත්‍රණ නොමැතිව ඉදිරි මැතිවරණයක දී හැකිනම් ජයගෙන පෙන්වන ලෙස පාඨලී චම්පික රණවක මහතා මෙහිදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

“බොරු නඩු පටලවන්නෙ නැතිව, අපරාධ කරුවෝ නිදොස් කොට නිදහස් කරන්නේ නැතිව අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කොට නීත්‍යානුකූලව මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය රැක මැතිවරණ පවත්වා, රාජ්‍ය දේපළ භාවිතා කරන්නේ නැතිව, තමන්ගේ ජනමතය උරගා බලන්න”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles