Sunday, November 17, 2024

ජන ජීවිතය අඩපණ කරන රුපියලේ අවප්‍රමාණය

විනිමය අනුපාතය යනු එක්‌ රටක මුදලකට තවත් රටක මුදලින් ගෙවන ප්‍රමාණය හෙවත් රටේ මුදලේ මිලයි. උදාහරණ ලෙස එක්‌සත් ජනපද ඩොලරයක්‌ ලංකාවේ මුදලින් රුපියල් 100 ක්‌ නම් රුපියලක මිල ඩොලරයට සාපේක්‌ෂව 1/100 කි. ඩොලරයේ මිල රුපියල් 150 ක්‌ වුවහොත් රුපියලක වටිනාකම ඩොලරයට සාපේක්‌ෂව 1/150 කි. මෙහිදී රුපියලේ වටිනාකම අඩු වී ඇති අතර එය රුපියල අවප්‍රමාණය වීම ලෙස හඳුqන්වයි. රුපියලේ වටිනාකම රුපියල් 50 වුවහොත් රුපියලක වටිනාකම ඩොලරයට සාපේක්‌ෂව 1/50 කි. එය රුපියලේ වටිනාකම ඉහළ යැම හෙවත් රුපියල ප්‍රතිප්‍රමාණය වීම ලෙස හඳුන්වයි. විනිමය අනුපාතය තීරණය වන්නේ රටක මුදලට ඇති ඉල්ලුම සහ සැපයුම අනුවය. නැතහොත් රටට ලැබෙන විදේශ විනිමය සහ රටින් පිටවන විදේශ විනිමය මතය.

වර්තමාන රජය බලයට පත් වූ පසු ශ්‍රී ලංකාවේ රුපියලෙහි වටිනාකම සීග්‍රයෙන් අවප්‍රමාණය වී ඇති අතර, මේ වන විට එක්‌සත් ජනපද ඩොලරයක මිල රුපියල් 155.40 ඉක්‌මවා ගොස්‌ ඇත. 2014 දෙසැම්බර් අග වන විට එහි වටිනාකම රුපියල් 131.05 ක්‌ විය. 2015 වර්ෂයේදී රුපියල එක්‌සත් ජනපද ඩොලරයට සාපේක්‌ෂව 9.2% කින් අවප්‍රමාණය වී ඇති අතර 2016 දී 4.8% කින් අවප්‍රමාණය වී ඇත. 2017 ජුනි අග වන විට එය 2.67% කින් තවදුරටත් අවප්‍රමාණය වී ඇත. රුපියල මෙලෙස අවප්‍රමාණය වී ඇති නිසා ආර්ථිකය තුළ ගැටලු සහගත තත්ත්වයක්‌ නිර්මාණය වී ඇත. මෙලෙස රුපියල අවප්‍රමාණය වීමට මූලික හේතුව වන්නේ ශ්‍රී ලංකාව තුළට ගලා එන විදේශ විනිමය හිඟවීමයි.

වර්තමාන රජයේ දුර්වල විදේශ විනිමය කළමනාකරණය මූල්‍ය සහ ආදායම් ප්‍රතිපත්තිවල දුර්වලතාව සහ මහ බැංකු බැඳුම්කර වංචාව වැනි දූෂණ නිසා ආයෝජකයන් තුළ රජය පිළිබඳ පැවැති විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටිණි. ශ්‍රී ලංකාව දූෂණ දර්ශකයේදී 2016 වන විට 83 වැනි ස්‌ථානයේ සිට 95 දක්‌වා දර්ශක 12 කින් පහළ ගියේය. ඒ අනුව විදේශීය ආයෝජන ද කැපී පෙනෙන ලෙස පහළ ගියේය. 2014 දී ඩොලර් මිලියන 1691 ක්‌ වූ විදේශීය ආයෝජනය 2016 අග වන විට ඩොලර් මිලියන 737 ක්‌ දක්‌වා පහළ බැස ඇත. කොටස්‌ වෙළෙඳපොළෙන් සහ මූල්‍ය වෙළෙඳපොළෙන් විදේශිකයෝ තම ආයෝජන ආපසු රැගෙන ගියහ. මේ පිළිබඳව ඇති සංඛ්‍යා ලේඛනය මෙම තත්ත්වය මනාව පැහැදිලි කරයි. ඒ අනුව අවුරුදු දෙකක කාලය වන විට රටට ගලා ආ විදේශ විනිමය ඩොලර් මිලියන 11,210 කින් පමණ අඩු වී ඇත. එය එක්‌ මසක සාමාන්‍යය ලෙස ගත්කල ඩොලර් මිලියන 467 කි.

රුපියල අවප්‍රමාණය වීම නිසා සෘජුවම රට තුළට එන විදේශීය ආදායමෙහි දේශීය මුදලින් ලැබෙන ප්‍රමාණය ඉහළ යන බවත් එමගින් රටේ තරගකාරිත්වය වැඩි වී අපනයන දිරිමත් කරන බවටත් ඇතමෙක්‌ කරුණු දක්‌වති. මෙහි ප්‍රායෝගික බව කොතෙක්‌ දුරට මෙරට ආර්ථිකයේ දක්‌නට ලැබේ දැයි සලකා බැලීම උචිතය. එහි වාසිදායක තත්aත්වය තීරණය වන්නේ අපගේ අපනයන සඳහා විදේශීය රටවල ඇති ඉල්ලුමේ නම්‍යතාව මතය. මෙහිදී අපගේ අපනයන විදේශිකයන්ට ලාබදායී වුවද එය අත්‍යවශ්‍ය භාණ්‌ඩයක්‌ද නැත්ද යන්න මත හා විදේශීකයන්ගේ ආදායම් තත්ත්වය මත ඉල්ලුම වැඩි නොවීමට ඉඩ ඇත. අනික්‌ අතට සැපයුම කෙටිකාලීනව වැඩි කළ නොහැකි වීමටද ඉඩ ඇත. අපගේ බොහෝ අපනයන එනම් තේ, රබර්, පොල්, කුළුබඩු, වැනි කෘෂිකාර්මික භාණ්‌ඩවල සැපයුම කෙටිකාලීනව වැඩි කළ නොහැකිය. එසේම ඇතැම් අපනයනයන් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර පිටරටින් ගෙන්වන නිසා රුපියල අව ප්‍රමාණය වීමේ වාසිය නැති වී යනු ඇත. තවද අපනයන ආදායම වැඩි වුවද නිෂ්පාදන හිමිකම විදේශිකයන්ට හිමි නම් වැඩි වූ අපනයන ආදායම රට තුළ රැඳෙන්නේ ද නැත. මේ අනුව රුපියල අවප්‍රමාණය වීම නිසා අපනයන ආදායම වැඩි වනු ඇතැයි යන්න ප්‍රායෝගික නොවේ.

රුපියල අවප්‍රමාණය වීම නිසා ආනයනයන්හි වටිනාකම දේශීය මුදලින් ඉහළයැම අනිවාර්ය වේ. රටට ගෙන්වනු ලබන අත්‍යාවශ්‍ය භාණ්‌ඩ වූ ආහාර, බෙහෙත්, යන්ත්‍ර සූත්‍ර, අතරමැදි භාණ්‌ඩවල මිල රුපියලේ අවප්‍රමාණය වීම නිසා වැඩි වුවද එහි ඉල්ලුම අඩු නොවනු ඇත. ඒ අනුව වෙළෙඳ ගිණුමේ හිඟ ශේෂය තවත් පුළුල් වනු ඇත. 2014 ට සාපේක්‌ෂව 2015 සහ 2016 වර්ෂවල ආනයන සඳහා කරන වියදම අඛණ්‌ඩව වැඩි වී ඇත. මෙහි සෘජු ප්‍රතිඵලය වන්නේ රටේ ජීවන වියදම ඉහළ යැමයි. 2014 දී 0.1% උද්ධමන වේගය 2017 අප්‍රේල් වන විට 8.4% දක්‌වා ඉහළ යැමට මෙම අව ප්‍රමාණය වීම සෘජුව බලපා ඇත. 2017 ජනවාරි මස සිට කොළඹ පාරිභෝගික වියදම් දර්ශකයෙහි පදනම් වර්ෂය සහ භාණ්‌ඩ පැස වෙනස්‌ කර ඇත. ඒ අනුව 2006 දී පාරිභෝගික භාණ්‌ඩ සඳහා 47% ක බර තැබීමක්‌ තිබුණද 2017 දී එය 28% ක්‌ දක්‌වා අඩු කර ඇත. අද ආහාර ද්‍රව්‍යවල මිල සීග්‍රව වැඩි වුවද, එහි ජීවන වියදම් දර්ශකය සැදීමේදී බර තැබීම අඩු අගයක්‌ ගෙන ඇති බැවින් එමගින් සිදු වන බලපෑම ජීවන වියදම් දර්ශකයෙහි කෘත්‍රිමව අඩු කර ඇති බව මෙහිදී මතක තබා ගත යුතුය.

ජීවන වියදම වැඩිවීමේදී වැටුප් වැඩි කිරීම සඳහා වෘත්තීය සමිති විසින් කේවල් කරනු ඇත. ඒ තුළින් රටේ කාර්මික සාමය බිඳ වැටෙන අතර, රජයට වැටුප් වැඩි කිරීමට සිදු වනු ඇත. මෙම ක්‍රියාවලිය දිගින් දිගටම සිදු වුවහොත් සර්පිලාකාර (මදුරු දඟරයක හැඩය ගත්) උද්ධමනයක්‌ රට තුළ ඇතිවනු ඇත.

රුපියල අවප්‍රමාණය වීම නිසා විදේශීය ණයවල වටිනාකම දේශීය මුදලින් ඉහළ අගයක්‌ ගනී. ඒ අනුව සංවර්ධනය සදහා ගනු ලබන විදේශීය ණයවලින් වැඩි රුපියල් ප්‍රමාණයක්‌ ආයෝජනය සදහා වැය කිරීමට හැකියාව ලැබේ. එහෙත් ගනු ලබන ණය සංවර්ධනය සඳහා යොදවා ගනු නොලබයි නම් මෙම වාසිදායක තත්ත්වය අහිමි වේ. තවද ණය ආපසු ගෙවීමේදී වැඩි රුපියල් ප්‍රමාණයක්‌ අවශ්‍ය වේ. ඒ අනුව ණය බර තවත් වැඩි වේ. මේ නිසා අයවැය හිඟය සීග්‍රයෙන් වැඩිවනවා ඇත. 2015 දී රුපියල අවප්‍රමාණය වීම නිසා රටේ සමස්‌ත ණය බර රුපියල් කෝටි 28510 කින්ද, 2016 ජූලි වන විට තවත් රුපියල් කෝටි 14170 කිනග්ද වැඩි වී ඇත. ඒත් 2014 දී විනිමය අනුපාත රටට වාසිදායක ලෙස වෙනස්‌වීම නිසා රටේ ණය බර රුපියල් කෝටි 8930 කින් අඩු වූ බවද සඳහන් කළ යුතුව ඇත.

රටට පිටතින් ගලා එන විනිමය, එනම් විදේශීsය ප්‍රේෂණ, විදේශීය ණය යන අංශ සඳහා වැඩි රුපියල් ප්‍රමාණයක්‌ ලැබුණද, ජනතාව අතට ලැබෙන්නේ අඩු මූර්ත වටිනාකමකින් යුත් මුදලකි. එහි මූර්ත වටිනාකම ඇතැම්විට පෙර ලැබූ ආදායමට වඩා අඩු මූර්ත වටිනාකමක්‌ විය හැකිය. තවද, දේශීය ශ්‍රමිකයන් පිටරටදී උපයන සේවා සඳහා ලබන ආදායම සහ සේවා අවස්‌ථා තීරණය වන්නේ ශ්‍රී ලංකාවේ රුපියල අවප්‍රමාණය වීම මත නොවේ. ඒවා විදේශීsය රටවල විශේෂයෙන් මැදපෙරදිග රටවල ආර්ථික තත්ත්වය මත තීරණය වනු ඇත.

රුපියල සීග්‍රයෙන් අවප්‍රමාණය වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවට රුපියලේ වටිනාකම ආරක්‌ෂා කර ගැනීමට මැදිහත් වීමට සිදු වනු ඇත. ඒ අනුව බොහෝවිට මහ බැංකුව තම විදේශ සංචිත විකිණීම සහ රටේ පොළී අනුපාතය වැඩි කරනවා ඇත. රටේ විදේශ විනිමය ලැබීම පහළ යනවිට වාණිජ බැංකු තම ගනුqදෙනුකරුවන්ගේ විනිමය අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විදේශ විනිමය මිලදී ගැනීමට තැත් කරයි. එසේ විනිමය සැපයීම සිදු නොවුණහොත් රුපියල තවදුරටත් අවප්‍රමාණය වනු ඇත. මේ නිසා ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳපොළට මැදිහත්වීම අනිවාර්ය වේ. 2015 දී ඒ අනුව ඩොලර් මිලියන 3250 ක්‌ද, 2016 දී තවත් ඩොලර් මිලියන 768 ක්‌ද, 2017 පළමු මාස දෙක තුළ තවත් ඩොලර් මිලියන 250 ක්‌ පමණ විදේශ සංචිත වාණිජ බැංකුවලට විකුණා ඇත. එහි අවසාන ප්‍රතිඵලය වූයේ රටේ විදේශ සංචිතය කඩාවැටීමය. ඒ අනුව 2014 දී ඩොලර් මිලියන 8210 ක්‌ව පැවැති රටේ නිල විදේශ සංචිතය අද වන විට ඩොලර් මිලියන 5000 දක්‌වා මට්‌ටමකට කඩාවැටී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය විදේශ සංචිත වාණිජ බැංකුවලට විකිණීම සමඟම වාණිජ බැංකුවල රුපියල් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඇදී යයි. ශ්‍රී ලංකා මහ බැංකුව සතු දේශීය මුදල් රටේ මුදල් සැපයුමේ කොටසක්‌ නොවන නිසා සිදුවන්නේ රට තුළ සහ වාණිජ බැංකු පද්ධතිය තුළ ද්‍රවශීල හිඟයක්‌ ඇතිවීමයි. මෙම ද්‍රවශීල හිඟයට මුහුණ දෙන වාණිජ බැංකු අධික පොලියට තැන්පතු රැස්‌කිරීමට පෙළඹෙයි. මෙහිදී රටේ පොලී අනුපාතය ඉහළ යන අතර, එය රටේ මූල්‍ය පද්ධති ස්‌ථාවරත්වයට අහිතකර ලෙස බලපානු ඇත. 2015 වර්ෂයේදී මෙම ක්‍රියාවලිය නිසා බැංකු සතු ද්‍රවශීලතාව රුපියල් කෝටි 49720 කින් අඩු වූ බවද සඳහන් කළ යුතුය.

ශ්‍රී ලංකා මහ බැංකුවද මීට සමගාමීව රටේ පොලී අනුපාතය ඉහළ දැමීම තුළින් රුපියල ශක්‌තිමත් කිරීමට පියවර ගනු ඇත. ඒ අනුව රටේ සාමාන්‍ය පොලී අනුපාතය 6% සිට 14% දක්‌වා සීග්‍ර වැඩිවීමකට ලක්‌වීම පෙන්වා දිය හැකි අතර, වාණිජ බැංකු= සංවර්ධන කටයුතු සඳහා සපයනු ලබන ඇතැම් ණය සහ අත්තිකාරම් සඳහා 32% ඉක්‌ම වූ පොලියක්‌ නියම කිරීමද දකින්නට හැකිය. මේ තත්වය රටේ සංවර්ධන කටයුතු මුළුමනින්ම අඩපණ කර ඇති අතර, ව්‍යාපාරික ප්‍රජාව නිරන්තරයෙන් මේ පිළිබඳව මැසිවිලි නඟමින් සිටිති.

ඇතැම් ආර්ථික විද්‍යාඥයන් විනිමය අනුපාතය අවප්‍රමාණය වීම දිගු හා මධ්‍යම කාලීන ආර්ථික සංවර්ධනයට හිතකර වනු ඇතැයි තර්ක කළ ද, එය ප්‍රායෝගික නොවන බව පැහැදිලි වේ. විනිමය අනුපාතය අවප්‍රමාණය වීමට ඉඩ හැරීම කෙටිකාලීන ස්‌ථාවරත්වයට මෙන්ම දිගුකාලීන ආර්ථීක සංවර්ධනයට ශ්‍රී ලංකාව තුළ බලපා ඇත්තේ අහිතකර ලෙසය. දිගුකාලීන ආර්ථික සංවර්ධනය විනිමය අනුපාත අව ප්‍රමාණය තුළින් ලබා ගත නොහැකි අතර, එය ළඟා කර ගැනීමට නම් විශ්වසනීය ආර්ථීක ප්‍රතිපත්ති තීරණ ගත යුතුය. එහෙත් මෑතදී රජය විසින් ගනු ලැබුවේ ආයෝජකයන්ගේ විශ්වාසය පලුදු කිරීමේ ප්‍රතිපත්ති හා තීරණයන්ය. මෙම තීරණවලින් පීඩාවට පත්වන්නේ රටේ පාලකයන් නොව මහජනතාව බව අවසාන වශයෙන් කිව යුතුය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles