Monday, November 18, 2024

ජන හද ජයගත් මහජන බැංකුව 55 වැනි වසර සමරයි

ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජයීය ආගමික හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි ප්‍රගතිය කෙරේ සුවිශාල කාර්ය භාරයක් ඉටු කරන, ලක් වැසියන්ගේ දියුණුව අභිවෘද්ධිය වෙනුවෙන් කැපවුණ, මූල්‍ය ක්ෂේත්‍රයෙහි විජයග්‍රාහීව පෙරමුණ ගෙන සිටින, ජනතා විශ්වාසය සහ ආදරය දිනූ, ජන හද හඳුනන මහජන බැංකුව අද (01) දිනට සිය පනස් පස් වැනි උපන් දිනය මහත් අභිමානයෙන් සමරයි.

1960 දශකයට පෙර බැංකු පද්ධතිය ඉංග්‍රීසි බස කතා කරන ධනේශ්වර වරප්‍රසාදලාභී සුළු පිරිසකට සීමා වී තිබිණ. බැංකුවකට ඇතුළුවීමට පවා අවකාශ නොතිබූ සාමාන්‍ය ජනතාව ගිනි පොලීකරුවන්ගේ ග්‍රහණයට නතුව සිටියහ.

අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ වෙළෙඳ ආහාර සමූපකාර හා නාවික කටයුතු අමාත්‍ය ටී.බී. ඉලංගරත්න මහතා විසින් පිලිප් ගුණවර්ධන ඇමැතිවරයාගේ සහායද ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 1961 අංක 29 දරන මහජන බැංකු පනත අනුව 1961 ජූලි මස 01 වැනි දා මහජන බැංකුව පිහිටුවන්නට යෙදිණ.

“මහජන බැංකුව හෙට ආරම්භ වේ” යන සිරස්තලය සහිතව 1961 ජුනි 30 වැනිදා “දිනමිණ” මහජන බැංකුවේ සම්ප්‍රාප්තිය වාර්තා කළාය.

සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම, ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම, ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය සංවර්ධනය කිරීම, ග්‍රාමීය බැංකු අංශය දියුණු කිරීම මහජන බැංකුව පිහිටුවීමේ මූලික පරමාර්ථ අතර විය.

මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සඳලංකාවේ සමූපකාර ව්‍යාපාරයේ පියා වශයෙන් සැලකෙන වින්සන්ට් සුබසිංහ මහතා මහජනබැංකුවේ ප්‍රථම සභාපති (1961 – 1964) ලෙස පත් විය. ඔහු සභාපති තනතුරේ වේතනය නොගෙන සේවය කළ බව ඔහුට ගෞරවයක් වශයෙන් සඳහන් කළ යුතුය.

ප්‍රථම සාමාන්‍යාධිකාරිවරයා වූයේ ඩබ්ලිව්. එච්.සොලමන්ස් මහතාය. ඔහු දිනකට පැය 20ක් පමණ සේවය කළ බවත් අතිශය රෝගී අවස්ථාවල පවා නිවාඩු නොගෙන සේවය කළ බවත් සඳහන් කළ යුතුය.

එකල සේවක මණ්ඩලයද ඉතා අඩු පහසුකම් යටතේ හරියටම කිවහොත් දැඩි අපහසුකම් මධ්‍යයේ ඉමහත් කැපවීමෙන් වෙහෙස මහන්සියෙන් බොහෝ විට අතිකාල දීමනා පවා නොගෙන දිවා රෑ වැඩ කරමින් මහජන බැංකුව දියුණුවේ හිණිපෙත්තටම රැගෙන ආවා.

මහජන බැංකුව බිහිවීම ලාංකේය බැංකු ක්‍රමයේ ප්‍රබල පෙරළියක ආරම්භය විය. බැංකු අතුරින් මුල්වරට සිංහල හා දෙමළ භාෂා වලින් වැඩ කිරීමට පටන් ගත්තේද මහජන බැංකුවයි. ගොවි කම්කරු ධීවර ජනකොටස්වලට මෙන්ම ලිපිකරු ගුරුවරුනට පවා එතෙක් වැසී තිබුණ බැංකු දොරටු විවර වූයේ මහජන බැංකුවෙනි. සැබැවින්ම මෙය විප්ලවයක්ම විය.

බැංකු ඉතිහාසයේ සිදුවූ තවත් පෙරළියක් වූයේ ගම්බද පාසලින් නිදහස් අධ්‍යාපනය ලැබූ දරුවනට මහජන බැංකුවේ රැකියා අවස්ථා උදා කරදීමය.

පොදු ජන සිතුම් පැතුම් පිළිබඳ හොඳ අවබෝධයකින් යුත් අපේකම ගැන හිතන, දහදිය සුවඳ හඳුනන, ආචාරශීලී බවින් ලෙන්ගතුකමින් මානව දයාවෙන් අනූන සංවේදී සේවක පිරිසක් එකල මහජන බැංකුව හා බද්ධවීමෙන් මිනිසුනට ආදරය කරන ගරු කරන යහපත් බැංකු සංස්කෘතියක ආරම්භය මහජන බැංකුවෙන් උදාවිය.

අද මහජන බැංකුව සතු ශාඛා ජාලය 737 ක් පමණ වේ. මෙය මෙරට වාණිජ බැංකුවක් සතු වැඩිම ශාඛා ජාලය වේ. ඒ හා සමගාමීව විශාලතම පරිගණක පද්ධති ජාලයද මහජන බැංකුව සතු වේ. රට පුරා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 498 ක් පමණ ක්‍රියාත්මක වේ. මහජන බැංකුවේ ගනුදෙනුකර සම්පත මිලියන 14ක් පමණ වේ.

වැඩිම ශාඛා ජාලයක්. වැඩිම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාවක්, වැඩිම සේවක මණ්ඩලයක්, වැඩිම ගනුදෙනුකාර සම්පතක්, රන්භාණ්ඩ උකස් වෙළඳපොලේ හරි අඩකටත් වඩා වැඩි කොටසක්, යන මේ සෑම අංශයකින්ම මහජන බැංකු ප්‍රමුඛයා ලෙස වැජඹෙයි.

2015 වසර අවසානයේ මහජන බැංකුව සිය සමස්ත තැන්පතු පදනම රුපියල් බිලියන 899.2 දක්වා ඉහළ නංවා ඇති අතර අති විශිෂ්ට මූල්‍ය ප්‍රතිපල ලබමින් රුපියල් බිලියන 19.5 ක බැංකු ඉතිහාසයේ විශාලතම බදු පෙර ලාභය වාර්තා කර ඇත.

එසේම යුගයේ අවශ්‍යතාවය හා ජනතා අවශ්‍යතාවය මත ගනුදෙනුකරුවනගේ විවිධ මූල්‍ය අවශ්‍යතාවයන් වෙනුවෙන් විවිධාකාර වූ ණය යෝජනාක්‍රම රාශියක් මහජන බැංකුවෙන් ක්‍රියාත්මක වෙයි.

නවීන තාක්ෂණය යොදා ගනිමින් ජනතාව වෙත වඩාත් පහසු හා කාර්යක්ෂම සේවාවක් සැලසීම සඳහා පීපල්ස් මොබයිල් බෑන්කින් හා පීපල්ස් ඉන්‍ටර්නෙට් බෑන්කින් සේවා හඳුන්වා දී ඇති මහජන බැංකුව ඩිජිටල් බැංකුකරණය වෙතද ප්‍රවිෂ්ඨ වී ඇත.

මහජන බැංකුව ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වයකින් යුක්ත වන්නා සේම ලොව පිළිගත් බැංකු ප්‍රමිතීන්ටද අනුගතව ඇත. එසේම සම්මාන පවා දිනාගෙන ඇත.

Fitch Rating ශ්‍රේණිගත කිරීම AA+ වන අතර Brand Finance Rating ශ්‍රේණිගත කිරීම AA- වේ. මේ නිසා මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන අතර ඉහළ තැනක වැජඹීමට මහජන බැංකුවට හැකි වී ඇත.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සහ ඒ.සී. නීල්සන් ජාත්‍යන්තර ආයතනය මගින් වඩාත්ම හද දිනූ බැංකුව ලෙස පිරිනැමෙන සම්මානයත්, වැඩිම ජන ප්‍රසාදය දිනූ සේවා නාමය ලෙස පිරිනැමෙන සම්මානයත් නොකඩවා වසර 10ක් පුරා දිනාගැනීමට මහජන බැංකුව සමත් වී තිබේ.

මූල්‍ය ආයතනයක මුඛ්‍ය පරමාර්ථය ලාභය වුවද මහජන බැංකුව ලාභය පමණක්ම ඉලක්ක කර නොගනිමින් ප්‍රචාරයෙන් හා ප්‍රසිද්ධියෙන් තොරව විවිධ සමාජ සුබ සාධක කටයුතු කෙරෙහි නිරන්තරයෙන් සුවිසල් දායකත්වයක් සලසනු ලබයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා ශක්තිමත්ම බැංකුව වශයෙන් රාජ්‍ය බැංකුවක් හා ජාතික බැංකුවක් ලෙසින් මහජන බැංකුවේ පනස් පස් වසරක අභිමානය හා මහජන සේවාව සැමරුම පසුබිමේ යෝධ සෙවණැල්ල වනුයේ, මහජන බැංකුවට කවදත් ආදරය කරන මිලියන 14ක් පමණ වූ මහජන බැංකුවේ වටිනාම ගනුදෙනුකාර සම්පත වෙයි.

ශ්‍රී ලාංකේය ජනතාවගේ ආදරය දිනාගනිමින් මහජන බැංකුව සිරි ලක සිවු දිග කිතු ගොස රන්දා ඇත. ජය දද බන්දා ඇත. ජය ගොස නංවා ඇත. ජන හදවත් තුළ සදා ලැගුම් ගෙන ඇත.

හැම සම්මානයකටම වැඩියෙන් මහජන බැංකුවට ජනතා සම්මානය කවදත් වටින්නේය.

ජන හද හඳුනන මහජන බැංකුව උදා ඉරක් සේ සදා දිළේවා!

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles