Saturday, January 11, 2025

‘ජයසාගර’ නාවික හමුදා සේවයට සමුදෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට අනුයුක්තව සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දශක හතරකට ආසන්න කාලයක් සමුද්‍රීය ආවේක්‍ෂණ නෞකාවක් ලෙස අනභිභවනීය සේවයක් ඉටු කළ ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාව ඊයේ (30) නාවික හමුදා සේවයට සමුදුන්නේ ය.

ඒ අනුව එම නෞකාවට සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුද කිරීම ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේදී ඊයේ සිදු කෙරුණේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ නැව් තටාකාංගනයේදී නිෂ්පාදනය කරන ලද මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ ලෙස (පී 601) 1983 දෙසැම්බර් 09 වන දින අධිකාරියට පත්කරන ලද අතර, එහි පළමු අණදෙන නිලධාරී ලෙස කටයුතු කර ඇත්තේ, කොමාණ්ඩර් ඒ .අයි. ජයවර්ධන මහතායි.

1990 වසරේදි මන්නාරම් දූපතේ අවතැන්වූ ජනතාව ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදාගැනීම ඇතුලු ක්‍රියාන්විත රැසකට භාවිත කළ මෙම නෞකාව, නාවික හමුදා සේවයට සමුදීමෙන් අනතුරුව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතයි.

නාවික අභ්‍යාස සඳහා ද‘ජයසාගර’ දායකත්වය ලබා දී ඇති අතර 1990 වර්ෂයේ මැලේසියාවේ පැවති ජාත්‍යන්තර නෞකා දැක්ම  සහ 1999 වර්ෂයේ ඉන්දියාවේ අන්දමන් සහ නිකෝබාර් දූපත්හි පැවති මිලාන් නාවික අභ්‍යාසය ඉන් කිහිපයකි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් සහ නාවිකයින් විශාල පිරිසක් පුහුණු කිරීම සඳහා නෞකාව සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇති අතර, වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මූලික පුහුණුවෙන් පසු සිය පළමු පත්වීම ලෙස ‘ජයසාගර’ නෞකාව වෙත අනුයුක්තව රාජකාරි කර තිබීම ද විශේෂත්වයකි.

නෞකාවක් අධිකාරියට පත්කිරීම මෙන්ම අධිකාරියෙන් ඉවත් කිරීමද නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සිදුවන සුවිශේෂී කාර්යයක් වන අතර ‘ජයසාගර’ නෞකාව අධිකාරියෙන් ඉවත් කිරීමෙන් පසු නෞකාවේ දිගට සමාන වන ලෙස සකස් කරන ලද එම නෞකාව අධිකාරියට පත් කිරීමේ ධජය (Commissioning Pennant) සංකේතවත් කරනු ලබන Paying off Pennant ධජය නැව් මුළුවේ සාමාජිකයින් ගණනට සමාන කොටස්වලට වෙන් කොට නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නෞකාවේ නැව් මුළුව වෙත ලබා දීම, මෙම අධිකාරියෙන් ඉවත් කිරීමේ අවස්ථාවේ අවසන් අංගයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles