Sunday, January 12, 2025

ජල – විදුලි ගාස්තු ඉහළ යන ලකුණු

ඉන්ධන මිල ඉහළ යාමත් සමග විදුලි නිෂ්පාදනය සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවන බැවින් විදුලි ගාස්තු ඉහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. මේ පිළිබඳව රජයේ ඉහළ නායකයන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග මෙම තත්වය ඇති වී තිබෙන අතර සපුගස්කන්ද පිරිපහදුව දැවි තෙල් නිෂ්පාදනය අවන් වීමත් මීට බලපා ඇත.

කෙසේ වෙතත් විදුලිය ගාස්තු වැඩි කිරීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැත.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය විටින් විට අඩපනවීම හේතුවෙන් මේ වනවිට විදුලි කප්පාදුවක්ද සිදුවෙමින් තිබෙන අතර දිගින් දිගටම ගල් අඟුරු බලාගාරය අක්‍රිය වුවහොත් ඉන්ධන භාවිතා කර විදුලිය නිපදවීම ඉහළ දැමීමට සිදුවනු ඇත.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලි බිල වැඩි කළහොත් ජල ගාස්තුව ඉහළ දැමීමට සිදුවන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. තමන් මේ පිළිබඳව අදාළ අංශ සමඟ සාකච්ඡා කළ බව අමාත්‍යවරයා කියා සිටියා. ඉන්ධන මිල වැඩි කිරීම ජල සම්පාදන පද්ධතියට ප්‍රශ්නයක් නොවන නමුත් විදුලි බිල වැඩි කළහොත් එය ප්‍රශ්නයක් වනු ඇති බවයි ඔහුගේ අදහස වන්නේ.

අඩු පරිභෝජනය සිදු කරන පාරිභෝගිකයන්ගේ ගාස්තු වැඩි නොකර ඉහළ පරිභෝජනය සිදු කරන අයගේ ගාස්තු ඉහළ දැමීමට එහිදී අවධානයක් යොමුකරන බවද ඔහු සඳහන් කළේය.

කෙසේ හෝ විදුලි බිල වැඩි කළහොත් වියදම් සමතුලිත කර ගැනීමට ක්‍රමයක් සොයා ගත යුතු බව ඔහු කියා තිබුණා. මේ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන පාරිභෝගිකයන් හැර අනෙකුත් පාරිභෝගිකයින් සඳහා ජල ගාස්තු ඉහළ නැංවීමට තම අමාත්‍යාංශය අපේක්ෂා කරන බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කළේ.

ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් කියා තිබුණා.

තවද අඩු පරිභෝජනය සිදු කරන පාරිභෝගිකයන්ගේ ගාස්තු වැඩි නොකර ඉහළ පරිභෝජනය සිදු කරන අයගේ ගාස්තු ඉහල දැමීමට එහිදී අවධානයක් යොමුකරන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles