Friday, January 24, 2025

ජාත්‍යන්තර මාධ්‍ය ලාංකිකයින් වෙනුවෙන් පෙනී සිටියි – ඉන්දුනීසියාව පසුබසියි

මානව හිමිකම් සංවිධානවල දැඩි දෝෂ දර්ශනය හමුවේ ඉන්දුනීසියාවේ, අචේ පළාතේ ලෝක්න්ගා වෙරළතීරයට ගොඩබැසීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික සරණාගතයින් 44 දෙනා යළි මහ මුහුදට පිටුවහල් කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් ගත් තීරණය හළි හකුලාගෙන තිබේ.

විශේෂයෙන් ගෝලීය මානව හිමිකම් සංවිධානයක් වූ ඇම්නස්ටි ජාත්‍යන්තරය අදාළ සිද්ධිය හෙළාදකිමින් සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව ඉන්දුනීසියානු බලධාරීන් එකී සරණාගතයින් පිරිසට යළි වෙරළට පැමිණීමට ඉඩදීමටත්, වෙරළේ කුඩාරම් තනා එහි රැඳී සිටීමට අවස්ථාව ලබාදීමටත් පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තමිල්නාඩුවේ රැඳී සිටි  ශ්‍රී ලාංකික සරණාගතයින් 44 දෙනෙකු මුහුදු මගින් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යන අතරවාරයේදී යාත්‍රාවේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දුනීසියානු වෙරළ තීරයකට පසුගියදා ළඟා වී සිටි අතර ඔවුන්ට එම යාත්‍රාවෙන් ගොඩබිමට පැමිණීමට ඉන්දුනීසියානු පොලීසිය අවසර දුන්නේ නැත.

එහිදී බෝට්ටුවේ සිටි පිරිස ගොඩබිමට පැමිණීමට අවස්ථා දෙකකදී දැරූ උත්සාහයන් අසාර්ථක වූ අවස්ථාවේදී පොලීසිය අහසට වෙඩි තබමින් ඔවුන් අනතුරු අඟවා සිටියේ බෝට්ටුවට වී සිටින ලෙසය.

මෙම ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කිරීමත් සමග ඉන්දුනීසියානු බලධාරීන්ට ඔවුන් ගනු ලැබූ තීරණය වෙනස් කර ගැනීමට සිදුව ඇති බව මේ සම්බන්ධයෙන් හඬ නැඟූ පාර්ශව අවධාරණය කර තිබේ.

මෙම  සරණාගත පිරිසෙහි ගැබිණි කාන්තාවක ඇතුළු කාන්තාවන් 15 දෙනෙකු සහ ළමුන් 09 දෙනෙකුද වේ.

ඉන්දුනීසියානු බලධාරීන් අදාළ පිරිසට ආහාර ද්‍රව්‍ය ලබාදි ඇති අතර ඔවුන් ගොඩබිමට නොගෙන යළි මුහුදට යොමු කිරීමට සැළසුම් කර තිබිණ.

එසේම යාත්‍රාවේ කාර්මික දෝෂය නිවැරදි කළ බවත්, ඔවුන්ගේ ගමනාන්තය ඉන්දුනීසියාව නොවන නිසා ජාත්‍යන්තර මුහුදට හරවා යවන බවට ඉන්දුනීසියානු බලධාරීන් අවධාරණ කර තිබුණි.

කෙසේ වුවද මේවන විට වාර්තා වන පරිදි ඉන්දුනීසියානු උප ජනාධිපති Jusuf Kallaද එකී සරණාගතයින්ට ගොඩබිමට බැසීමට ඉඩදෙන ලෙසට නිලධාරීන්ට නියෝග කර ඇති අතර මීට පෙර වාර්තා වූයේ ඔහු ඇතුළු  එරට රජයේ නිලධාරීන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින්ගේ නියෝජිතයින්ට එම ශ්‍රී ලාංකිකයින්ට සහන සැලසීමට ඉඩනොදෙන බවකි.

විශේෂයෙන් මෙම සිද්ධිය ගැන මානව හිමිකම් සංවිධාන හා ජාත්‍යන්තර මාධ්‍ය ලබාදුන් දැඩි ප්‍රචාරය හමුවේ ඉන්දුනීසියානු රජයේ බලධාරීන් ඔවුන් ගනු ලැබූ දැඩි තීරණය වෙනස් කර ගෙන ඇති බවක් මින් පැහැදිලි වෙයි.adaderana

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles