Thursday, October 24, 2024

ජාත්‍යන්තර වෙසක් උළෙලට ගුණාත්මක වැඩසටහනක්

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙසක් දිනය වෙනුවෙන් අන්තර් ආගමික සම්බන්ධතාවය වර්ධනය වන අයුරින් ගුණාත්මක වැඩසටහන් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන් වෙත ඊයේ (27) උපදෙස් ලබාදුන්නේය.
ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙ‍ලේදී සංවිධාන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති නිල නිවසේ ඊයේ (27) පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නේය.
ජාත්‍යන්තර වෙසක් දින උත්සවය සහ 2017 ලෝක බෞද්ධ සමුළුවද මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.
තිරසර ලෝක සාමය සහ සමාජ සාධාරණත්වය උදෙසා බෞද්ධ ඉගැන්වීම් යන තේමාව යටතේ මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උත්සවය සඳහා ලෝකයේ රටවල් 85ක පමණ නියෝජිතයන් සහභාගිවීමට නියමිතය.
මැයි මස 12,13, සහ 14 යන දිනයන්හිදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය, නෙළුම් ‍පොකුණ පරිශ්‍රය සහ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී ජාත්‍යන්තර වෙසක් දින සමරු උළෙල පැවැත්වීමට නියමිතය.
එම උත්සවයට සමගාමීව කෑගල්ල වට්ටාරම රජමහා විහාරයේදී ජාතික වෙසක් උත්සවය මැයි මස 09 වැනිදා පැවැත්වීමට නියමිතය.
මහා සංඝරත්නයේ මගපෙන්වීම් අනුව ආධ්‍යාත්මික හරයන් මතුකෙරෙන වැඩසටහන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ආදර්ශමත් වන ලෙස මෙම සියලු උත්සව කටයුතු සංවිධානය කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදුන්නේය. වෙසක් සතිය ආරම්භ වන මැයි මස 7දා සිට 13 වන දින තෙක්  සෑම දිනකම පරිසරය සහ බුදු දහම, සෞඛ්‍ය සහ බුදුදහම, සාහිත්‍ය සහ බුදුදහම, සීල සමාධි වැඩසටහන්, කලාව සහ බුදුදහම, රාජ්‍ය සේවය සහ බුදු දහම  සමාජ සංවර්ධනය ආර්ථිකය සහ බුදු දහම යන තේමා යටතේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි වෙසක් වැඩසටහන් සංවිධානය කිරීමට නියමිතය.
එමෙන්ම මැයි මස 8දා සියලුම බෞද්ධ පාසල් දරුවන් සඳහා පාසල් තුළ සීල වැඩසටහන් පැවැත්වීමටත් මැයි මස 10දා රාජ්‍ය සහ පෞද්ගලික දරුවන් ප්‍රමුඛ සැදැහැවතුන් සඳහා විහාරස්ථානවලදී සීල වැඩසටහන් පැවැත්වීමටත් නියමිතය.
කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ෙතේ‍රනිකායික මහා සංඝරත්නයද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක, රවි කරුණානායක, එස්.බි. නාවින්න, සාගල රත්නායක, පාඨලී චම්පික රණවක යන මහත්වරුන් ද ඇතුළු නිලධාරීන් රැසක් සහභාගිවී සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles