Sunday, September 22, 2024

ජාත්‍යන්තර වෙසක් මංගල්‍යයට සමගාමීව ත්‍රිපිටකය හඬකැවීමේ මෙහෙයුම් කමිටුවක්

මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අන්තර්ජාතික වෙසක් උළෙලට සමගාමීව මුළු මහත් විශ්වයටම තථාගත ශ්‍රී සද්ධර්මය බෙදාහැරීමේ අදිටනින් ක්‍රියාත්මක වන ත්‍රිපිටකය හඬකැවීමේ මෙහෙයුම් කමිටුව පත්කිරීම ඊයේ ෙතේ‍රනිකායික මහා සංඝරත්නයේ සහ බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීය.
මෙහිදී  ත්‍රිපිටකය හඬකැවීමේ අධීක්ෂණ මණ්ඩලය පත්කළ අතර එහි සභාපති ලෙස මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පත් කෙරුණි. ත්‍රිපිටකය හඬ කැවීමේ මූල්‍ය කමිටුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා ලෝක බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති  ජගත් සුමතිපාල මහතා පත් කෙරුණු අතර ප්‍රවර්ධන හා ප්‍රචාරණ කමිටුව සඳහා ජාතික රූපවාහිනියේ හිටපු අධ්‍යක්ෂ චන්ද්‍රපාල ලියනගේ මහතා පත් කෙරුණි. ත්‍රිපිටකය හඬකැවීමේ අන්තර්ජාතික කමිටුව සඳහා මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමි හා බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පත් කෙරුණි. නීති කමිටුව සඳහා ක්‍රිෂ්ණමාල් වර්ණසූරිය මහතාද මෙම අවස්ථාවේදී පත් විය.
ත්‍රිපිටකය හඬ කැවීමේ මෙහෙයුම් කමිටුව පත් කිරීමේ අවස්ථාවට සහභාගි වූ බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැමිණ සිටි  පිරිස අමතමින් මෙවර වෙසක් උළෙල සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
මේ වසර බෞද්ධ අපට වැදගත් වසරක්. 1950 වසරේදී ශ්‍රී ලංකා බෞද්ධ සම්මේලනයේදී වෙසක් උත්සවයේ ඇති වැදගත්කම ජාත්‍යන්තරයට පෙන්වා දුන්නත් එය ජාත්‍යන්තරය තුළ විශාල වශයෙන් ව්‍යාප්ත වුණේ නැහැ. මෙය ශ්‍රී ලංකාවාසීන්ට ප්‍රථම වරට ලැබෙන අවස්ථාවක්. ලෝකයට දෙන්න තියෙන උතුම්ම දායාදය චතුරාර්ය සත්‍ය අඩංගු බුදුදහමයි. අතීතයේ සිට භික්ෂූන් වහන්සේලා බුදු දහම රැකගත් නිසා ලෝකයේ ත්‍රිපිටක ධර්මය ඉතුරුවෙලා තියෙනවා.

වර්තමාන ලෝකය එකම ගිනිජාලාවක්. සෑම රටකම යුද්ධය. ජනජීවිතය අඩාල වෙලා. ලෝක යථාර්ථය අවබෝධයක් නැතිකම මීට හේතුවයි. ලෝකය වෙනස් කළ හැක්කේ ධර්මයට පමණයි. ජපානය අද දියුණු වෙලා තියෙන්නේ එක බණ පදයක් නිසයි. හැම රටකටම වුවමනා වෙලා තිබුණේ ජපානයෙන් වන්දි ගන්නයි. ඒ ජපානය රටවල් විනාශ කළ නිසයි. ලෝකයේ රටවල් ජපානයට එරෙහිව නැගී සිටින විට අපේ රටෙන් සම්මේලනයට සහභාගි වෙලා හිටපු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පමණක් “නහීවේරේන වේරානී” යන ධම්ම පදය කියමින් ලෝකයට වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව ප්‍රකාශ කළා. මේ වචනයට එදා මුළු ලෝකයම ගෞරව කළා. ජපානය දියුණු වුණේ ලෝකයේ ජනතාව බුදුන් වහන්සේගේ වචනය අනුගමනය කළ නිසා. ඒ වචනය ප්‍රකාශ නොකළනම් අද ජපානය දුප්පත් රටක්.
මෙවර ජාත්‍යන්තර වෙසක් උත්සවය කොළඹදී මැයි මස 12,13 යන දෙදින පැවැත්වෙනවා. මැයි 14 වනදා අවසන් උත්සවය මහනුවර දළදා මාලිගාවේදී පැවැත්වෙනවා. මෙම වෙසක් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි. ඒ වගේම මැයි 14 වෙනිදා ජාතික වෙසක් උත්සවය වට්ටාරම රජමහා විහාරයේදී පැවැත්වෙනවා.
ත්‍රිපිටකය හඬකැවීම සම්බන්ධයෙන් ප්‍රථම වරට සුමන හාමුදුරුවෝ සාකච්ඡා කිරීමේදී අපි කවුරුත් තරමක් තැති ගත් මාතෘකාවක් වුණා. අද මෙම කාර්යය සඳහා නායකත්වය ගෙන කටයුතු කරන්නේ ඒ තරුණ භික්ෂුව. තරුණ භික්ෂුන් වහන්සේලාට ධර්මය රකින්න පුළුවන්. ඒ වගේම තරුණ භික්ෂුවකට පුළුවන් චණ්ඩාශෝක ධර්මාශෝක කරන්න.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles