Wednesday, September 25, 2024

ජාතික ආරක්ෂක විද්‍යාලය ජනපති අතින් විවෘත කෙරේ

“ජාතික ආරක්ෂක විද්‍යාලය” අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කළේය.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරණ විධායක නිලධාරීන්ට ජාතික ආරක්ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් මෙරට ස්ථාපිත ප්‍රථම හා උසස්ම අධ්‍යයන හා පර්යේෂණ ආයතනය මෙයයි.

ජාතික අවශ්‍යතා තහවුරු කිරීම සඳහා ජාතික ආරක්ෂාව, රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා රාජ්‍ය ප්‍රතිපත්ති අංශයන්හි උපායමාර්ගික චින්තකයින් සහ නායකයින් බිහි කිරීම “ජාතික ආරක්ෂක විද්‍යාලයේ” මෙහෙවර ලෙස සැලකේ.

ගාලුපාරේ, කොළඹ 03 පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයට අයත් දිගු ඉතිහාසයක් ඇති “මුම්ටාස් මහල්” ගොඩනැගිල්ලේ “ජාතික ආරක්ෂක විද්‍යාලය” ස්ථාපිත කර තිබේ. එහි ප්‍රධාන ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිවරයා අධ්‍යයන පහසුකම් නිරීක්ෂණය කළේය. අනතුරුව “ජාතික ආරක්ෂක විද්‍යාලයේ” නිල වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

කොළඹ විශ්වවිද්‍යාලය, සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ඕස්ට්‍රේලියානු ආරක්ෂක පුහුණු විද්‍යාලය, ඇමරිකාව හා පකිස්ථානය යන රටවල විශේෂඥයෝ මෙහි විෂය නිර්දේශ කමිටුවේ සම්පත්දායකයෝ වූහ.

චීන රජය අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක් හා පකිස්ථාන රජය පුස්තකාලයක් ඉදිකිරීමට දායකත්වය සපයා ඇති අතර පුස්තකාලය සඳහා පොත් ලබාදීම ඕස්ට්‍රේලියානු රජය හා ත්‍රිවිධ හමුදාව විසින් සිදු කර තිබෙනවා.

මෙහි ප්‍රථම පාඨමාලාව හෙට සිට 2022 අගෝස්තු මාසය දක්වා මාස 10ක කාලයක් පූර්ණ කාලීනව පැවැත්වෙනවා.

ඊට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 27 දෙනෙක් සහ පොලීසියේ නිලධාරීන් 04 දෙනෙක් තෝරාගෙන සිටිති.

ශ්‍රී ලංකාවේ “ජාතික ආරක්ෂක විද්‍යාලය” පිහිටුවීම දිගුකාලීන අවශ්‍යතාවක ඉටු වීමක් බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා උත්සව සභාව අමතමින් සඳහන් කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට ක්‍රමෝපායික අධ්‍යාපන අවස්ථා ලබාගැනීම සඳහා විදේශ අධ්‍යාපන ආයතනවල පවතින අවස්ථා සෙවීම හැර වෙනත් විකල්පයක් නොතිබුණු බවත් සෑම වසරකම මිත්‍ර ජාතීන් පිරිනමනු ලබන පාඨමාලා නිලධාරීන් කිහිපදෙනෙකුට විශාල ප්‍රතිලාභයක් සැලසුව ද, තවත් බොහෝ පිරිසකට අවස්ථාව අහිමි වූ බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

එම නිසා මෙම විද්‍යාලය පිහිටුවීමෙන් සෑම වසරකම එවැනි අත්දැකීම් ලැබිය හැකි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සංඛ්‍යාව විශාල ලෙස වැඩි වේ. මෙම පාඨමාලාව හදාරන නිලධාරීන්ට ඉදිරියේ දී ජ්‍යෙෂ්ඨ ආඥාපති තනතුර දැරීමට මෙන්ම හමුදාපති තනතුර දැරීමට ද අවස්ථාව උදාවිය හැකි බව ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, විශ්වවිද්‍යාල කුලපතිවරු සහ උපකුලපතිවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles