Saturday, September 21, 2024

ජාතික නීති සතිය හෙට අගමැති ප්‍රධානත්වයෙන් ඇරැඹේ

ජාතික නීති සතිය ප්‍රධාන උත්සවය හෙට (3) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගම් මූලස්ථානයේදී පැවැත්වෙයි. කොළඹ නීති සායනය විවෘත කිරීමත් හෙට දිනයේ සිදු‍වෙයි.

මේ අවස්ථාවට අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් මහත්වරු ඇතුළුව නීති ක්ෂේත්‍රය ඇතුළුව සමාජයේ විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන පිරිසක් සහභාගී වෙන බව ජාතික නීති සතිය කැඳවුම්කරු නීතිඥ නිෂාන් ප්‍රෙමතිරත්න මහතා දිනමිණට පැවසීය. ‘යුක්තිය ඔබ වෙත’ තේමාව යටතේ ජාතික නීති සතිය ඉකුත් 27දා ආරම්භ විය.

එය නිමිත්තෙන් මහජනතාව උදෙසා රට පුරා ස්ථාන කිහිපයක නීති සායන පැවැත්වීම එදින සිට සිදු වෙයි. ජාත්‍යන්තර පැසසුමට ලක්වුණ කීර්තිමත් විනිසුරුවරයකු වන සී.ජේ. වීරමන්ත්‍රි මහතාගේ සංකල්පයකට අනුව නීති සතිය අප රට තුළ ක්‍රියාත්මක වන බව නීති සතිය සභාපති ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

ජාතික නීති සතිය නිමිතිකරගෙන පෙරේදා මාධ්‍යවේදීන්, කලාකරුවන් උදෙසා නීති සම්මන්ත්‍රණයක් පැවැත්වුණි. නීතිඥ වෘත්තියට පිවිසෙන නවක නීතිඥයින් සහ පොලිස් කොස්තාපල්වරුන් හත්සියක් පමණ නීතිමය කාරණා පිළිබඳව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය ඊයේ කොළඹ දී සිදු විය. ජාතික නීති සතිය තුළ දී විද්වත් නීතිඥවරුන්ගෙන් ජනතාවට නීති උපදෙස් නොමිලේ සැපයීම සිදු වෙයි. ජාතික නීති සතිය මෙම 4දා නිමාවට පත්වන බව නීතිඥ ප්‍රෙමතිරත්න මහතා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles