Saturday, January 11, 2025

ජාන විශ්ලේෂණ පරීක්‍ෂාවකින් තහවුරු කර ගන්නා තෙක් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය රටට ඇතුළු වී තිබිය හැක

ජාන විශ්ලේෂණ පරීක්‍ෂාවකින් තහවුරු කර ගන්නා තෙක් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය රටට ඇතුළු වී තිබිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ මේ හේතුවෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව ආරක්‍ෂාකාරීව සිටීම සියලුදෙනාගේ වගකීම වන බවයි.

ජානමය අනුක්‍රමණ විශේල්ෂණයකින් හඳුනා ගන්නා තෙක් අලුතින් හඳුනා ගනු ලැබූ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ඇතැම් විට ශ්‍රී ලංකාව තුලද ව්‍යාප්ත වෙමින් පැවතිය හැකි බව හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටිනවා.


‘ ඒකේ හැකියාව හැම විටම තියෙනවා. මිට කලින් අපි කතා කරපු ඇල්ෆා, බීටා, ඩෙල්ටා කියන වෛරස ගැන කතා කළා. මේ සියලුම වෛරස් වර්ග ලෝකයේ විවිධ පළාත් හඳුනා ගනු ලැබුවා. කාලයක් ගත වෙන කොට ඒ වෛරසය ලෝකයේ සෑම රටකටම ව්‍යාප්ත වුණා. මේ වෛරසය සංචරණයත් සමගයි ප්‍රධාන වශයෙන් ඒ රටවලට පැතිරිලා තියෙන්නේ. එනකොට එන අය මේ වෛරසය රැගෙන එනවාද කියා අපට කල් තියා හඳුනා ගන්න පුළුවන් ක්‍රමයක් නැහැ. අප රට තුල සිදුකරන ජාන විශ්ලේෂණයකින් පමණයි මෙය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එවැනි අවස්ථාවක මේ ජාන අනුක්‍රමණ පරීක්ෂණයකින් හඳුනා ගන්නා තෙක් මේ වෛරසය රට තුල පැතිරෙමින් පවතින්නත් ඉඩ තියෙනවා. මෙහිදී වැදගත් වෙන්නේ මේ ප්‍රභේදය ලංකාවට ආවද නැද්ද කියන එක හොයනවට වඩා එය ලංකාවට ඇතුල්වීම වැළැක්විමට අවශ්‍ය කටයුතු කරන්න ඕන.’ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.

එහෙත් ලොව බොහෝ රටවල මේ වනවිටත් ව්‍යාප්තවෙමින් පවතින ඔමික්‍රොන් ප්‍රභේදය රටට ඇතුළුවීම වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද ඊයේ ප්‍රකාශ කළා.

කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමෙන් එම ප්‍රභේදය රටට ඇතුළුවීම ප්‍රමාද කළ හැකි බවයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පැවසුවේ.


විවිධ අවස්ථාවලදී හඳුනා ගනු ලැබූ කොවිඩ් ප්‍රභේදයන් ලෝකයේ සෑම රටකටම පාහේ ව්‍යාප්ත වී ඇති බව පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා එලෙස වීමට ප්‍රධානම හේතුව වන්නේ සංචරණය බවද සඳහන් කර සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles