Tuesday, September 24, 2024

ජේ.ආර්ගේ මුණුබුරාට මිරිස් කුඩු මිශ්‍ර කුණු බිත්තර ප්‍රහාරයක්!

කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන මහතාට ඊයේ (31) පෙරවරුවේ එහි පැවැති කමිටු රැස්වීමක දී මිරිස්කුඩු මිශ්‍ර කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කොළඹ මහනගර සභාවේ පරිසර කමිටුවට සභාපතිවරයකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමක් නගර සභා කමිටු ශාලාවක දී පැවැති අතර ඡන්ද විමසීමෙන් අනතුරුව මිරිස් කුඩු මිශ්‍රිත කුණු බිත්තර ප්‍රහාරය එල්ල කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම මන්ත්‍රීවරියක බවද වාර්තාවේ.

පරිසර හා ඉඩම් ස්ථාවර කමිටුවේ සභාපති ධූරය ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රදීප් ජයවර්ධන සහ එම පක්ෂයේම සමන් අබේගුණවර්ධන යන මහත්වරු ඉදිරිපත්ව සිටියහ.

ඒ සඳහා පැවැති රහස් ඡන්ද විමසීමේදී ප්‍රදීප් ජයවර්ධන මහතාට ඡන්ද 4ක්ද සමන් අබේගුණවර්ධන මහතාට ඡන්ද 2ක් ද වශයෙන් ලැබී ජයවර්ධන මහතා ජයග්‍රහණය කර තිබේ.

සමන් අබේගුණවර්ධන මහතා පරාජයට පත්වීම ඉවසා දරාගත නොහැකි වූ ඔහුට සමීපතම මන්ත්‍රීවරියක එහිදී මෙම කුණු බිත්තර ප්‍රහාරය එල්ල කර ඇතැයි ද වාර්තාවේ.

රහස් ඡන්ද විමසීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමත් සමග මන්ත්‍රීවරිය සිය අත්බෑගයේ සඟවාගෙන සිටි යමක් එළියට ගෙන ප්‍රදීප් ජයවර්ධන මහතා දෙසට දමා ගැසූ බව සඳහන් වෙයි.

බෑගයක් වැනි දෙයක් ප්‍රදීප් ජයවර්ධන මහතාගේ හිසට වැදී පුපුරා ගිය බවත් මන්ත්‍රීවරයාගේ මුළු ශරීරයම දුගඳ හමන කුණු බිත්තරවලින් පෙඟී ගිය බවත් ඔහු පැවසීය.

මෙම සිදුවීමෙන් අනතුරුව කොළඹ මහ නගර සභාවේ කමිටු ශාලාව එකම ගාලගෝට්ටියක් බවට පත් වී ඇති අතර පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ මැදිහත් වී සිද්ධිය සමථයට පත් ක​ර තිබේ.

මේ සම්බන්ධයෙන ප්‍රදීප් ජයවර්ධන මහතා නාගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට සහ කුරුඳුවත්ත පොලිසියට පැමිණිලිකර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles