Sunday, September 22, 2024

ඥානසාර හාමුදුරුවෝ කාර්ය සාධක බලකායට දාලා සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගන්න හදනවා – විජිත හේරත්

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අනුව දැන් සැබෑ ලෙසම ජනාධිපතිවරයාගේ මොළය පරීක්ෂා කළ යුතුව ඇති බවත් ජනාධිපතිවරයාගේ මානසිකත්වය එය නම් රටේ නීතියට අබ සරණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේය.

ඒ, ඊයේ (03) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය. 

”ජනාධිපතිවරයා විදිහට කල්පනා කරන්න ඕනෑ, මෙහෙම පත්කිරීම් ගැනද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ හාමුදුරුවන්  වහන්සේගේ සිර දඬුවමින් මුදා හැරියා. ඒ හාමුදුරුවන් වහන්සේම නීති සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති හැටියට පත් කරනවා. මේ පත්කිරීමම බරපතල ගැටලුවක්. මේ දවස්වල සිදුවීම් එක්ක බලනකොට පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ පිළිබඳව විවේචනය කළාම සිරිල් ගාමිණී පියතුමාව රහස් පොලීසියේ ප්‍රශ්න කිරීම්වලට ලක් කරනවා. මේ පියතුමාම අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. දැන් මේ ආණ්ඩුව හදන්නේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න ජාතිවාදය ඉස්සරහට දාලා නැවත ගැටුමක් ඇති කරන්නයි. කතෝලික-බෞද්ධ ගැටුමක්  හෝ බෞද්ධ ඉස්ලාම් ගැටුමක් ඇති කරන්න ලැහැස්ති වෙනවා. සිරිල් ගාමිණී පියතුමාව යම් හෙයකින් අත්අඩංගුවට ගත්තොත් කතෝලික ජනතාව ඊට විරුද්ධව පාරට බහිනවා. ඒ අනුව ක්‍රමානුකූලව ගැටුමක් ඇති කරන්න උත්සාහ කරනවා. සිරිල් ගාමිණී පියතුමාව අත්අඩංගුවට ගන්න උත්සාහ කරන අතර ඥානසාර හාමුදුරුවෝ කාර්ය සාධක බලකායේ සභාපති හැටියට පත් කරනවා. ”

අනාගතයේ වෙනත් ගැටුම් නිර්මාණය කරන්න ආණ්ඩුව බීජ වපුරන අතර ජන මනස අවුල් කර සමාජය නැවත ජාතිවාදී, ආගම්වාදී බෙදීම්වලට ලක්කිරීමට උත්සහ කරන බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ. .

”සංවත්සර තියලා පෙන්වන සංදර්ශනවලින් ජනතාවගේ ඇත්ත ප්‍රශ්නය යටගහන්න බැහැ. ජනතාව මේ වනවිට පීඩා විඳින ප්‍රශ්න කිසිවකට සංදර්ශනවලින්  උත්තර නැහැ. ඒ නිසා වෙනත් කුමන්ත්‍රණ ගේන්න, ජනතාව අතර ගැටුම් ඇති කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ  මේ ජාතිවාදී උගුල්වල ගොදුරු  බවට පත් නොවන ලෙසයි. ඔබේ ඇත්ත ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීම සඳහා දැනුවත්ව පෙරට එන්න. මේ ජනතා ද්‍රෝහී ආණ්ඩුවට එරෙහිව  පෙළගැහෙන්න.”

මේ ආණ්ඩුවෙන් ජනතාවගේ ඇත්ත ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බවත් එහෙයින් ආණ්ඩුවට එරෙහිව පෙළ ගැහෙන ලෙස ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles