Saturday, January 11, 2025

ට්‍රම්ප් ගේ අ‍ෙමරිකාව මෙතනින් කොතැනට ද?

අමෙරිකානු ආධිපත්‍යය ක්‍රමයෙන් ගිලිහී යමින් තිබිණි. තමන් ගොඩනඟාගත් ප්‍රෞඪත්වය විනාශ වී යනු දක්නට අමෙරිකානුවෝ නොකැමැති වූහ. උද්ගත වූ ආර්ථික අර්බුදය හමුවේ අග හිඟකම් දරාගැනීමටද ඔවුනට සිදුවිය. ඉනුත් නොනැවතී ඉස්ලාම් අන්තවාදයද ඇතැම්විට ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් භීතියෙන් හා වික්ෂිප්තව කාලය ගෙවීමට ද ඔවුන්ට සිදුව තිබිණි. ජනාධිපති බැරැක් ඔබාමා බලයට පත් කරගැනීමෙන් ළඟා කරගැනීමට අපේක්ෂා කළ වෙනස යථාර්ථයක් වූයේ නැත.

ට්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරයේ දී ආමන්ත්‍රණය කළේ එවැනි ජනතාවකට ය. ඔහුගේ මූලික පොරොන්දුව නැතහොත් තේමාව අමෙරිකාව නැවතත් පෙර තිබූ බලවත් තත්ත්වයට ගෙන එන බවය. ආර්ථිකය නඟාසිටුවිය යුතු බව සහ අයි. එස්. අයි. එස්. ඇතුළු ත්‍රස්තවාදී කණ්ඩායම් වැනසිය යුතු බව ඔහු නිතර කීවේය. මේ හේතුවෙන් ඔහු මුස්ලිම් විරෝධියකු සහ ජාතිවාදියකු ලෙසද ලේබල් කෙරිණි. සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ද ඔහුගේ පිළිවෙත ඉතා දැඩි එකක් වනු ඇති බව පෙනෙන්නට තිබිණි. සංක්‍රමණිකයන් අමෙරිකාවෙන් පිට කළ යුතු යැයි ඔහු පළ කළ අදහස් දැඩි ලෙස විවේචනයට ලක්විය. වසර ගණනාවකට ඉහතදී කාන්තාවන් ගැන ඔහු කළ ප්‍රකාශ පවා හුවාදක්වමින්ද ඔහු කාන්තා හිංසකයකු බව අඟවමින් ප්‍රතිවාදීහු ප්‍රබල ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියෝය. එහෙත් අ‍මෙරිකානු ජනතාව එවැනි ප්‍රචාර හා අදහස් බැහැර කර ඇත. එක්කෝ ඒවා දෙවන තැනට දමා ට්‍රම්ප්ගෙන් තමන් සපුරාගැනීමට අපේක්ෂා කරන කාරණා ඉහළට ගෙන ඇත.

ජනාධිපති වශයෙන් තේරීපත් වීමට නම් අපේක්ෂකයකු ඡන්ද පීඨ නියෝජිතයන් 270 දෙනකු අවම වශයෙන් දිනාගත යුතුය. ට්‍රම්ප්ට නියෝජිතයන් 300කට ආසන්න සංඛ්‍යාවකගේ සහාය හිමිවීම විශේෂය. එහිදී හිලරි සිටින්නේ බොහෝ පසු පසිනි. මේ ප්‍රතිඵලය කියවා ගැනීමේදී මතු කළ හැකි කාරණා ගණනාවකි. සුදු අමෙරිකානුවන් බහුතරය ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප්ටය. ඔබාමා පාලනය යටතේ කළු ජාතිකයන්ට එරෙහි හිංසනයක් දියත්ව තිබියදී පවා කළු අමෙරිකානුවන් සහ ආසියානුවන් බහුතරයකගේ ඡන්ද ලැබී ඇත්තේ හිලරිටය. ඊට බලපා ඇත්තේ ට්‍රම්ප් අනුගමනය කළ වාර්ගික පිළිවෙත බව ඉන් පැහැදිලි වේ. වයස අවුරුදු 20 – 40 අතර තරුණ ඡන්ද වැඩි වශයෙන් ලැබී ඇත්තේ ට්‍රම්ප්ටය. අමෙරිකාවේ පළමු ජනාධිපතිවරිය බිහිකර ගැනීමේ අපේක්ෂාවෙන් සහ ඇතැම්විට ට්‍රම්ප් කාන්තා හිංසකයකු බවට ගෙනගිය ප්‍රචාරවල බලවත් බව හේතුකොටගෙන කාන්තා ඡන්ද වැඩි වශයෙන් ආකාර්ෂණය කරගෙන ඇත්තේ හිලරිය. හිලරිගේ මැතිවරණ ව්‍යාපාරයේ තරම් අත්දැකීම් බහුල ප්‍රබලයන් ට්‍රම්ප් සමඟ සිටි බව නොපෙනුණද, ජයග්‍රහණයෙන් පසු ට්‍රම්ප් ප්‍රකාශ කළ පරිදි ජෙනරාල්වරු හා අද්මිරාල්වරු 200ක් පමණ ඔහුට සහාය දැක්වූවන් අතර වූහ.

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය තහවුරු වූ විගස හිලරි සිය ආධාරකරුවන් හමුවේ පෙනී සිටියේ නැත. ඒ වෙනුවට ඔවුන් ඇමතූ ඇයගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානී ජෝන් රපාඩෙස්ට් වේදනාබරිතව සිටි ඩිමොක්‍රටික් ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේ සාමකාමීව නිවෙස් බලා යන ලෙසය. කිවයුතු දේ පසුදින ප්‍රකාශ කරන බව ඔහු පැවසීය. හිලරි ක්ලින්ටන් සිය ආධාරකරුවන් ඇමතුවේ පසුවය. නව ජනාධිපතිවරයාට සහාය දැක්විය යුතු බව ඇයගේ කතාවෙන් පළවිය. මෙය වේදනාකාරී පරාජයක් බව ඇය කීවේ හැඟුම්බරවය. ඇතැම්විට අයහපත් සෞඛ්‍ය තත්ත්ව යටතේ පවා අතිශය වෙහෙසකර මැතිවරණ ව්‍යාපාරයක යෙදීමට ඇයට සිදුව තිබිණි. සිය සැමියා වූ බිල් ක්ලින්ටන් සහ මැතිවරණ කමිටුවෙන් ද පක්ෂයෙන් ද ඇයට විශාල සහයෝගයක් ලැබිණි.

අවලාද සහගත මඩ ප්‍රචාර හමුවේ පවා සිය බිරිය මෙලනියා සහ විවාහ 3 ක දරු මුණුපුරන්ද සොහොයුරන් ද තමන් සමඟ සිටීම ට්‍රම්ප්ට විශාල ශක්තියක් වූ බවද මේ ජයග්‍රහණයෙන් පිළිබිඹු වෙයි. රිපබ්ලිකන් අපේක්ෂකත්ව සටනේදී හිටපු නිව්යෝර්ක් පුරපති ගිලියානි වැනි ප්‍රබලයන් අභිභවා යාමට සමත් වූ ට්‍රම්ප්ට තම පක්ෂයේම ප්‍රබලයන්ගේ වෙනස්කම් විඳ දරාගැනීමටද සිදුවිය. පක්ෂ ප්‍රබලයන් ඇතැමෙක් ඍජුවම හිලරිට සහාය දැක්වීය. එවැනි පසුබිමක පවුලේ සාමාජිකයන් පොකුරක්ම තමන් හා සිටීම ට්‍රම්ප්ට විශාල ‍ධෛර්යයක් ගෙන ආ බව නොරහසකි.

වසරකටත් වැඩි කාලයක් තිස්සේ පැවැති මැතිවරණ ක්‍රියාදාමයේදී ආරම්භයේ ට්‍රම්ප් සිටියේ හිලරිට වඩා බොහෝ පසුපසිනි. එහෙත් අවසානය වනවිට ඇය හා කරට කර සටනක් දීමට ඔහුට හැකිවිය. හිලරිට එරෙහිව මතුවූ ඊ – මේල් අපවාදය ද ඇය‍ගේ පරාජයට සැලකිය යුතු බලපෑමක් කරන්නට ඇත. ජනාධිපතිවරණයේ අවසානයට පැය කිහිපයක් තිබියදී ඇය නිර්දෝෂී බව එෆ්. බී. අයි. මඟින් ප්‍රකාශ කළද තොරතුරු තාක්ෂණ විශේෂඥයන් පෙරළා ප්‍රශ්න කළේ මෙතරම් ඉක්මනින් මේ ගැන නිගමනයක් දීමට නම් විමර්ශකයින් තත්පරයකට එක් ඊ මේල් පණිවිඩය බැගින් විශ්ලේෂණය කළ යුතු බවය. එය විය නොහැක්කකි. එබැවින් එම තුරුම්පුවද හිලරිට වැඩකළේ නැත.

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් රාජ්‍ය නායකයන් ගණනාවක් සුබපැතුම් එක්කර තිබේ. මුලින්ම සුබපැතූ අය අතර රුසියානු ජනාධිපති පුටින්ද විය. සිය මැතිවරණ ව්‍යාපාරයේදී ට්‍රම්ප් පළ කළ අදහස්වලින් පෙනෙන්නේ ඔහුගේ නායකත්වය යටතේ අමෙරිකාව, රුසියාව සම්බන්ධයෙන් දැනට වඩා වෙනස් පිළිවෙතක් අනුගමනය කරනු ඇති බවය.එසේ වුවහොත් එය සෙසු ලෝකයටද යහපතක් වෙනු ඇත. චීන ජනාධිපති ෂී ජින් පිංග්ද ජපාන අගමැති ෂින් ෂෝ අබේද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද එලෙස සුබපැතු අය අතර සිටී. ඉන්දියාව කෙරෙහි මිත්‍රශීලී පිළිවෙතක පිහිටා මැතිවරණ ව්‍යාපාරයේදී කටයුතු කිරීම අගමැති මෝදි අගය කර තිබිණි. මෙක්සිකෝව හරහා සංක්‍රමණිකයන්ට ඇතුඑ වීමට ඉඩ නොලැබෙන පරිදි දැවැන්ත තාප්පයක් ඉදිකරන බව හා දෙරට අතර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම අත්හිටුවන බව ට්‍රම්ප් කියා සිටීමත් සමඟ මෙක්සිකෝවේ යම් තිගැස්මක් ඇති වූවද එරටද ට්‍රම්ප්ට සුබපැතුම් එක්කර තිබේ. බංග්ලාදේශ ජනාධිපතිනිය ද අමෙරිකාවේ නව නායකත්වයට සුබ පැතුවන් අතර සිටී. ප්‍රංශ ජනාධිපති හා ඕස්ට්‍රේලියානු අගමැතිවරයාද බ්‍රිතාන්‍ය අගමැතිනියද මේ අතරට එක්වේ. ඇතැම් විචාරකයන් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය දැක තිබුණේ යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍යයන් ගත් තීරණයට එය සමාන කරමිනි.

ජයග්‍රහණයේ කතාව

ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ කොංග්‍රස් මණ්ඩලයේ බහුතර බලය ද රිපබ්ලිකන් පක්ෂය සතුවිය. එය ආසන 100න් 51ක බලය ඔවුන්ට ලැබී තිබේ. ඩිමොක්‍රටික් පක්ෂයට ලැබුණේ ආසන 45කි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435න් 235ක්ම ලැබී ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයටය. මේ පසුබිම ට්‍රම්ප්ට සිය පාලනය පෙරට ගෙනයාමේදී විශාල පිටුබලයක් වනු ඇත.

රිපබ්ලිකන් පක්ෂය ගෑන්ඩ් ඕල්ඩ් පාටි (GOP) ලෙසද හැඳින්වේ. රිපබ්ලිකන් ජනාධිපතිවරයකු ‍ අමෙරිකාවේ පාලනය භාරගත්තේ 2009 න් පසුවය. මෙතෙක් රිපබ්ලිකන් ජනාධිපතිවරු 18ක් බිහි වී තිබේ. අමෙරිකාවේ පළමු රිපබ්ලිකන් ජනාධිපතිවරයා ඒබ්‍රහම් ලින්කන් වන අතර බලයේ සිටි අවසන් ජනාධිපතිවරයා ජෝර්ජ් ඩබ්. බුෂ්ය. (2001 – 2009) බුෂ් ජනාධිපතිවරයාගේ පාලනය අතිශයින්ම වාද – විවාදවලට තු‍ඩු දෙන්නකි. ඇතැම් අය පූර්ව නිගමන මත පිහිටා අපේක්ෂා කරන්නේ ට්‍රම්ප්ගේ කාලයද ගැටලුසහගත වනු ඇති බවය. එහෙත් ඔහු කෙසේදැයි කියන්නට තවමත් ඉක්මන් වැඩිය. ජයග්‍රහණයෙන් පසු ට්‍රම්ප් කළ කතාව ඇතැම් විචාරකයන් කියන පරිදි ඉතිහාසයේ වෙනත් එවැනි කතාවලට වඩා වෙනස් ය. ඔවුන් ඉන් අදහස් කරන්නට ඇත්තේ සම්ප්‍රදායයි. එසේ වුවද ට්‍රම්ප් එහිදී පළ කළ අදහස් අවධානයට ලක්විය යුතුය.

හිටපු රාජ්‍ය ලේකම්වරයා සිය ජයග්‍රහණයට සුබපැතු බව කී ඔහු ඇයගේ මෙහෙවර ඇය දුෂ්කර ඡන්ද ව්‍යාපාරයක යෙදීමද අගය කළේය. බෙදීම් අවසන් කරන අමෙරිකාවේ ශ්‍රේෂ්ඨත්වය වෙනුවෙන් එක්සත්ව නැඟී සිටින්නැයි රිපබ්ලිකන්, ඩිමොක්‍රටික්, ස්වාධීන සියලු කොටස්වලට ආයාචනා කළේය. අමෙරිකානුවන්ගේ අභිලාෂය වූයේ ඔවුන්ගේ පවුල් උදෙසා පැහැදිලි අනාගතයක් බව කී ඔහු තමන් එය උදාකරන බවද කීවේය. තම සම්පූර්ණ ජීවිතය මෙතෙක් කැප කළේ ව්‍යාපාරවලට නමුත් ‍මෙතැන් සිට තම රට දියුණු කිරීම අභිප්‍රාය බවද පැවසීය. යටිතල පහසුකම් නැංවීම, ආර්ථිකය නැංවීම ආදී පොරොන්දු රැසක් ඔහු ඉදිරිපිට තිබේ. මේ සියල්ල සැබෑකරගත හැකි සිහින බව ට්‍රම්ප්ගේ විශ්වාසයයි.

වෙනසක් ඇතිකිරීම

තමන්ගේ ජනපති ගැන අමෙරිකානුවන්ට ආඩම්බර විය හැකි පරිදි ධුරයේ කටයුතු කරන බවද ට්‍රම්ප් මේ පළමු කතාවේදී කීවේ සැබෑ වෙනසක් කිරීමට සූදානම් බව ඉඟි කරමිනි. ලෝක ප්‍රජාවට ඔහු ලබාදුන් පණිවිඩයද වැදගත් ය . සෑම ජාතියක් සමඟම සමානව කටයුතු කිරීමට, ගැටුම් ඇතිකර නොගෙන ක්‍රියා කිරීමට අමෙරිකාව සූදානම් බව ඔහුගේ අදහසය. මෙතෙක් අප වැනි රටවල් සම්බන්ධයෙන් මානවහිමිකම් ආදී කාරණා මුල්කරගනිමින් අමෙරිකාව බැලූ දෘෂ්ටිකෝණය ට්‍රම්පගේ නායකත්වය යටතේ යම් වෙනසකට බඳුන් වේ යැයි අපේකෂා කළ හැකිය.

රිපබ්ලිකන්, ඩිමොක්‍රටික් පක්ෂ දෙකෙන් කවරක් බලයට පත්වූවද අමෙරිකානු දේශපාලනයේ හෝ ඔවුන්ගේ ආරක්ෂක විදේශ ප්‍රතිපත්තීන්ගේ විශාල වෙනසක් සිදුවන්නේ නැත. එහෙත්, දේශපාලනඥයකුද නොවන ට්‍රම්ප්ට අවශ්‍යනම් යම් වෙනසක් කළ හැකිය. ඔබාමාගේ වෙනස මෙන්ම ට්‍රම්ප්ගේ වෙනස ද වචන ගොඩක් පමණක් වේ දැයි ඉදිරි වසර දෙක, තුන තුළ දැකගත හැකියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles