Sunday, September 22, 2024

ඩෙංගු මර්දනයට කණ්ඩායම් 750 ක් ..

ඩෙංගු රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වී පවතින ප්‍රදේශ මූලික කරගනිමින් තෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට(13) සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසුම් කර තිබේ.

ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද(12) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ දේශගුණික විපර්යාස සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය වැඩි වී ඇති බවයි.

දැනට වාර්තා වන රෝගීන්ගෙන් සියයට 50ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වීම විශේෂත්වයක් බව වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙන්වා දී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, කොළොන්නාව, දෙහිවල -ගල්කිස්ස මහ නගර සීමාවලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන බව ඔහු අනාවරණය කළේය.

හෙට සිට ක්‍රියාත්මක ඩෙංගු මදුරු මර්දන වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 60ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන අතර කණ්ඩායම් 750ක්  ඒ සඳහා යෙදවීමට නියමිතය.

මදුරු මර්දනය සඳහා ජනතාවගේ සහයෝගය ද අත්‍යවශ්‍ය වන අතර කසළ බැහැරකරමින් තම නිවෙස් පිරිසිදුව තබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles