Saturday, September 21, 2024

ඩෙංගු රෝගය පිළිබඳ අවධානයෙන් සිටින්න

රට පුරා මේ දිනවල පවතින වැසි හිත කාලගුණයත් සමග ඩෙංගු ‌රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ඩෙංගු මර්දනය සඳහා වන වැඩපිළිවෙල පවතින ගෝලීය ව්‍යසනය මධ්‍යයේ වුවද ක්‍රමවත්ව හා කාර්යක්ෂමව පවත්වා ගෙන යාමට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදාළ සෞඛ්‍ය අංශ බලධාරීන් වෙත මේ වන විට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශිරන්ති සෙනෙවිරත්න මහත්මිය මාධ්‍යය දැනුවත් කිරීම සඳහා ලබා දුන් ප්‍රකාශය පහත දැක්වේ. ඒ වෙනුවෙන් වන ප්‍රචාරණය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.

“වැසි සහිත කාලගුණය සමග ඩෙංගු රෝගීන්ගේ යම් වැඩිවීමක් පෙන්නුම් කරනවා. මේ වසරේ මේ වනවිට රෝගීන් 21,154 ක් පමණ වාර්තා වෙනවා. මරණ 10 ක් සිදු වෙලා තිබෙනවා. වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාත තුලින්, එය සියයට 68 පමණ වනවා. ඊට අමතරව මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල, බදුල්ල, රත්නපුර සහ කෑගල්ල වැනි දිස්ත්‍රික්කවලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වනවා.

කොවිඩ් වෛරස තත්ත්වය නිසා පසුගිය කාලය තුල පරීශ්‍ර පරික්ෂාවන්වල අඩුවක් දක්නට තිබුනත් මේ වනවිට ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් බස්නාහිර පළත සහ නැගෙනහිර පළාත තුල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඊට අමතරව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් පරිශ්‍ර පරීක්ෂාවන්, දැනුවත් කිරීම් ඇතුලු මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා.

නැවත පාසල් ආරම්භ කිරීමට සුදානම් වන අවස්ථාවේ විශේෂයෙන්ම පාසල් පරිශ්‍ර තුල මදුරුවන් බෝවිය හැකි ස්ථාන තිබෙනවා ද යන්න පරික්ෂාවට ලක්කර එම පරීශ්‍ර පිරිසිදු කිරිමට කටයුතු කළ යුතුයි.

ඩෙංගු වෛරසය සහිත මදුරුවෙකු දෂ්ඨ කිරීමෙන් ඕනෑම පුද්ගලයෙකුට රෝගය වැළදෙන්න පුළුවන්. මේ දින වල උණ තත්ත්වයක් තිබෙනවා නම් එය ඩෙංගු රෝග තත්ත්වයක් විය හැකියි. එමෙන්ම උණ, හිසරදය, ඇස්යට වේදනාව, මස්පිඩු, හන්දිපත් වේදනාව වැනි රෝග ලක්ෂණ ලෙස පෙන්වා දිය හැකියි. එම රෝග ලක්ෂණ තිබෙනවා නම් දින දෙකකට වඩා කල් නොගෙන සුදුසුකම් තිබෙන වෛද්‍යවරයෙක් හමුවීම මගින් පරීක්ෂණ මගින් ඩෙංගු රෝගය ආසාදිතයෙකු ද යන්න තහවුරු කර ගත හැකියි. උණ සදහා යම් ඖෂධයක් ලබාගන්නවා නම් ඔබ ගත යුත්තේ නියමිත මාත්‍රාවෙන් පැරසිටමොල් ඖෂධය පමණයි. වෙනත් ඖෂධ කිසිම විටෙක භාවිතා නොකළ යුතුයි. එසේ වුවහොත් ඩෙංගු රෝගය නිසා ඇතිවන සංකූලතා ඇතිවිම තුලින් රුධිර වහනයක් ඇති වුවහොත් සුව කිරිමට අපහසුවීමට ඉඩකඩ වැඩියි.

ඩෙංගු රෝගය වළක්වා ගත හැකි රෝගයක් බැවින් අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම කළ යුතුයි. මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර විනාශ කිරීමට කටයුතු කළ යුතුයි.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles